තොරතුරු අයිතියේ තොරතුරු

තොරතුරු අයිතියේ තෙවන සංවත්සරය යෙදෙන මොහොතේ අර්ථමය වශයෙන් ගැටළු පැවතියද පැරණි සඟරාවක පළවූ ලිපියක් සිහියට නැගේ. එහි සිරස්තලය වූයේ ඒඩ්ස් නිසා ශීලාචාර වූ හොලිවුඩය යන්නයි. ඒ අනුව යමින් තොරතුරු අයිතිය නිසා ශිලාචාර වූ ලංකාව වැනි සිරස්තලයක් පළවන දිනයක් දෙස බලා සිටිමු.

විජයානන්ද රූපසිංහ

සිංහලයා රහසේ යම් යම් දේවල් කිරීමට කැමත්තක් දක්වන බව සී.ඒ.චන්ද්‍රප්‍රේම ගේ කොළ පාට සමාජයේ තිබුණා මතකය. එහි සරල අදහස වූයේ අරක්කු බාගයක් ගෙදරට ගෙනවිත් දරුමුණුපුරන්, බිරිඳට හොරෙන් අල්මාරියේ කොනක සඟවා රහසේ ටිකෙන් ටික පානය කරන කරතත්, පැය බාගයක් යන විට ඔහු බීමත් බව මුළු ගමම දැනගන්නා බවයි. රහස් බව සැඟවීමට සිංහලයාගේ පැවැති ගති ලක්ෂණයට යටත් විජිත පාලකයන්ගේ නිල රහස් පනතත් එක්වූ විට සියළ්ල නිල වශයෙන්ම සඟවා තබා ගත හැකි පරිසරයක් මෙරට නිර්මාණය විය. පරිපාලන සේවයේ මුල් පොත් ලෙස සැලකූ මූල්‍ය රෙගුලාසි සහ පරිපාලන රෙගුලාසි මඟින් එය තවදුරටත් තහවුරු කෙරිණි.


මේ ලගාවෙන්නේ ලංකාවට තොරතුරු අයිතිය ලබාදීමේ තුන්වන වසරටයි. 1980 මැද බාගයේ සිට තොරතුරු අයිතිය මෙරටට ලබාදීමට අදහස් පළකළ ඒ වෙනුවෙන් කැපවූ බොහෝ ආයතන සන්ධාන පුද්ගලයන් රාශියකි. ඒ සටනේ ප්‍රාර්ථනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ප්‍රබල ගුණාංගයක් මෙරටට හදුන්වා දීමයි.

තොරතුරු අයිතිය අවශ්‍ය යැයි ජනතාව තුළත් ප්‍රබල මතයක් ගොඩනැගී නොතිබුණි. එය ඉහළින් පහලට කාන්දු වූවකි. එසේ ජනමාධ්‍යකරුවන් තොරතුරු අයිතිය ඉල්ලා එය සටන් පාඨයක් බවට පත්කර ගන්නේ සම්මත ජනමාධ්‍යකරනයේ පැවැති සියළු ගැටළුවලට එකම විසදුම තොරතුරු අයිතිය යැයි හැඟෙන පරිදිය.

තොරතුරු අයිතිය නිල වශයෙන් ලැබීමට පෙර ද රාජ්‍ය අංශයේ විවිධ තොරතුරු හෙළිදරව් කරගැනීමේ නිල ක්‍රමවේදයක් පැවතුණි. ඉන් කැපී පෙනෙන ක්‍රමවේදය වූයේ රාජ්‍ය අංශාල වාර්ෂික වාර්තාවයි. සෑම රාජ්‍ය ආයතනයක්ම ගෙවී ගිය වර්ෂයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන අතර එය ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්වේ. අදාල ආයතනයේ සහ එම ආයතන මගින් කටයුතු කරන ක්‍රේෂ්ත්‍රයට අයත් සියළු තොරතුරු එම වාර්තාවට ඇතුළත් වේ.

මෙවැනි වාර්ෂික වාර්තා මහජනයාට ඒ තරම් සමීප නොවුනත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව වැනි වාර්තා පාසල් විෂය මාලාවට මෙන්ම පර්යේෂකයන්ට ප්‍රයෝජනවත් බැවින් පරිහරණය ඉහළ මට්ටමක පැවතුණි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විෂයයන් අමාත්‍යවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ සම්ප්‍රදායද එවැන්නකට උදාහරණයකි. සැඟවී ඇති බොහෝ රාජ්‍ය තොරතුරු එළියට එන්නේ එකී ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු සභාගත වී පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට එක්වූ විටය. එමගින් බොහෝ අන්දෝලනාත්මක රාජ්‍ය ක්‍රියාකාරකම් හෙළිදරව් කරගත හැකි විය. රාජ්‍ය බැංකු වලින් දේශපාලකයන් ගේ ඥාතීන්ට ණය ලබාදී ඒවා බොල් ණය ලෙස පසුව කපාහැර තිබූ බව සංඛ්‍යාලේඛන සහිතව හෙළිදරව් වීම ඊට කදිම උදාහරණයකි. එම තොරතුරු ජනමාධ්‍ය මඟින් වාර්තා වී ආණ්ඩු පෙරළි වලට මුල්වීමට තරම් බලසම්පන්න තත්වයක් නිර්මාණය විය.

තොරතුරු අයිතිය ක්‍රියාත්මක වූ ගතවුණු වසර තුන තුල ද බොහෝ තීරණාත්මක තොරතුරු ලබාගැනිමට හැකියාවක් ලැබිණි. විශේෂයෙන් ජනාධිපතිවරයා පත් කල කොමිෂන් සබා වල ප්‍රකාශයට පත් නොකල වාර්තා, සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල ගෙවීම් සම්බන්ධ අක්‍රමිකතා, තනතුරු වලට පුද්ගලයන් තෝරාගැනීමේදී අනුගමනය කල ක්‍රියා පටිපාටිය යනාදිය දැක්විය හැකිය. එසේ තොරතුරු අයිතිය ලබාගැනිමට සිදුකල අරගලයේ සටන්කාමීත්වය, සඟවා ඇති රාජ්‍ය තොරතුරු හෙළිදරව් කරගැනීමට තවමත් ප්‍රදර්ශනය කර නොමැති බව නිරීක්ෂණය කල හැකිය.

තොරතුරු කොමිසමේ නිර්භීත තීන්දු හා ඒවා අධිකරණය දක්වා ගෙනයාම වැනි සාධනීය මැදිහත්වීම් පැවතියද තොරතුරු අයිතිය යටතේ පුද්ගලික තොරතුරු ලබාගැනීමට ඇති උනන්දුව පොදු තොරතුරු ලබාගැනීමට හා ඒ සදහා සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩනැගී නොමැති වීම බරපතල අඩුපාඩුවකි. පුහුණු වැඩමුළු, දැනුවත් කිරීම්, සම්මන්ත්‍රණ, ජංගම සේවා මෙන්ම පාසල් විෂය මාලාවට තොරතුරු අයිතිය එක් කිරීම වැනි කාර්යයන් ක්‍රියාත්මකව ඇති බැවින් ඉදිරිය ගැන සුබවාදීව සිතීමට හැකිය.

තොරතුරු අයිතියේ තෙවන සංවත්සරය යෙදෙන මොහොතේ අර්ථමය වශයෙන් ගැටළු පැවතියද පැරණි සඟරාවක පළවූ ලිපියක් සිහියට නැගේ. එහි සිරස්තලය වූයේ ඒඩ්ස් නිසා ශීලාචාර වූ හොලිවුඩය යන්නයි.

ඒ අනුව යමින් තොරතුරු අයිතිය නිසා ශිලාචාර වූ ලංකාව වැනි සිරස්තලයක් පළවන දිනයක් දෙස බලා සිටිමු.

(අවන්ත ආටිගලගේ කාටූනයකි.)