ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි



ජපානයේ යොකොහාමාහි තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියි. එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන් සමඟ නිරන්තරයෙන්ම කථා බස් කරන බවත් තානාපති කාර්යාලය දන්වා තිබෙන බව ඊයේ (18) දින මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

‘‘මෙම මුහුදු සංචාරක නෞකාවේ සිටින පිරිස අතුරෙන් දැනට 454 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදනයට ලක් වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ඔවුහු ප්‍රතිකාර ලබමින් සිටිති.

නෞකාවේ මගීන් බැස්සවීමට දින 14ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කිරීමට එනම් පෙබරවාරි 19 හා 20 දක්වා කාලයක් ගතකිරීමට මෙම සමාගමට සිදුවනු ඇත. කෙසේවෙතත්, අවශ්‍යතාවයට අනුව මෙම කාර්යමණ්ඩල සාමාජිකයින් තවත් කාලසීමාවක් නිරෝධායනය කිරීමට සිදුවනු ඇත.‘‘ යන්නයි.