ඇත්තටම වෙනස් වෙන්න ඕන තමන්ගේ ආත්මයයි




- මහේෂ් හපුගොඩ - 



වනජීවී නෝනගේ කතාව


ගම්පහ වනජීවී නිලධාරිණිය සම්බන්ද ප්‍රශ්නේ එක්ක මතු වෙච්ච වැදගත් දෙයක් තියනවා. ඒ තමයි පරිසරය සහ මිනිස් පැවැත්ම කියන ඉතාම සංවේදී තැනට දේවල් ආවට පස්සේ අපි හැමෝම එකතු වෙනවා කියන එක. වනජීවී නෝනා එතැනදී එයාගේ මුළු 'බොඩි' එකම වැඩේට දැම්මා. සමහරු ඒ කතා කරපු විදිය වැරදියි කියනවා. එහෙම කතා නොකලානම් කාටවත් ඒ 'හඬ' ඇහෙන්නේ නැහැ. ග්‍රේටා තර්න්බග් ට පිරිමි කැමති නැත්තේ 'කට වැඩි' නිසා. පිරිමි ෆැන්ටසි එක අවුල් වෙන නිසා. මොන ෆැන්ටසි අවුල් වෙලා හරි ඇත්ත මිනිසුන්ට තේරුම් ගියා. මෙතන ඇයගේ හඬ හොඳින් ඇසුනා. ඇය කියන දේ මිනිසුන්ට වැදුණා. වැදගත් වෙන්නේ ඒක. ප්‍රචණ්ඩ නොවී මේ යුගයේ නරුම බව විනිවිදින්න බැහැ. ඒකයි තර්න්බග් ට එහෙම වෙන්න වෙලා තියන්නේ.

ඒ 'හඬත්' එක්කම බුකිය ඇතුලෙන් රැල්ල පටන් ගත්තා. අන්තිමට පොහොට්ටුවේ ඉතාම සීමිත කිහිප දෙනෙක් හැර සමස්ත ආණ්ඩුවත්, ජනාධිපතිතුමත්, විපක්ෂයේ අයත්, අන් සියලු දෙනාත් පරිසරය පැත්තේ - පැවැත්මේ කොන්දේසිය පැත්තේ - මිහිතලයේ අසරණ බව පැත්තේ හිට ගත්තා. ඇත්තටම අවංක චේතනාවක් මේ හැමෝම ඇතුලේ තිබ්බද කියල මම දන්නේ නැහැ. අවම වශයෙන් මතුපිටින්වත් යම් එකඟතාවයක් දකින්නට පුළුවන් කියලයි මම කියන්නේ.


විශ්වීය එකමුතු බව 

ඉතිං මෙතන තියනවා මම හැමදාම කියන විශ්වීය එකමුතු බව (universal solidarity) ගැන යම් ඉඟියක්. එසේ එකතු වීමට ඇති මිනිස් ආශාව. හැකියාව. අවිඥාණය. බයියෝ ටෝයියෝ (මේ බයිනරියට මම කැමති නැතත් එහෙම එකක් පේන්න තියනවා) බේදයක් නැතුව අපි හැමෝටම යන්න පුළුවන් දිශානතියක් ගැන හැඟවුම. එහෙම එකතු වෙන්නේ නැති අය තනි වෙනවා. හුදකලා වෙනවා. දැන් සමහරුන්ට තේරෙනවත් ඇති. සමහර විට නැතුවත් ඇති.

ඇත්තටම අවසානයට විමුක්තිය කරා මිනිසා ගමන් කරන්න ආශා කරනවා කියන තැන තවමත් අවසන් නැහැ. එක් එක් දේශීය කොන්දේසි ඇතුලේ ගොඩක් අය ජාතිකවාදය එක්ක ගමන් කරනවා තමයි. ඒත් එක් නිශ්චිත නිමේෂයක ඔවුන් විශ්වීයවාදීන් (universalists) වීමට නියමිතයි. එහෙම වෙන්නේ කොහොමද කියල මට කියන්න බැරි තවම ඒ මොහොත ළඟා නොවුන නිසා. හැබැයි ඒ මොහොත ළඟා වෙනවා. එතකොට අපේ සිහිනයත් වෙනස් වෙනවා.

එහෙම ඒ මොහොත ළඟා වෙනවා කියල පොරොත්තු වෙන්න ශක්තිය දෙන්නේ බලාපොරොත්තුව විසින්. ෆ්‍රැන්සිස් ෆුකුයමා ඒ බලාපොරොත්තුව තමන් තුල ම මරා දමා ගත්තා.

ෆුකුයාමාගෙන් පස්සේ දැන් තියන්නේ මම සහ අනෙකා අතර ආතතියක් නෙවෙයි. මොකද අනෙකා වෙනස් කරන්න ඕනි නැහැනේ අවසන් අරමුණක් නැති තැන. මටත් අනෙකාටත් එකතැන පල්වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. දෙන්නටම යන්න තැනක් නැහැනේ. ඔයා ඔයාගේ ලෝකයේ. මම මගේ ලෝකයේ. අපි දෙන්නම බහුසංස්කෘතික වාදය ඇතුලේ. අතීත අනන්‍යතා වගයක් වෙනුවෙන් නම් මරා ගන්නවා.

නමුත් අපේ දැන් අවබෝධය තමයි මේ විප්ලවීය මොහොත කවදාවත් එන්නේ නැහැ කියන එක විනෝද වෙන එක තමයි අද දවසේ රෝග ලක්ෂණය කියන එක. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මම (තමන්) තුලම යි. අනෙකාගේ විනෝදය තුල නෙවෙයි.

ඇත්තටම වෙනස් වෙන්න ඕන තමන්ගේ ආත්මයයි

ඇත්තටම වෙනස් වෙන්න ඕනි තමන්. තමන්ගේ ආත්මය. තමන්ගේ රෝග ලක්ෂණය.

එක අවස්ථාවක පුදුම එළවන සුළු විරුද්ධාභාෂි ප්‍රකාශයක් හිට්ලර් කරනවා. ඒක එයා කරන්නේ දැනුවත් ව නෙවෙයි වෙන්නත් පුළුවන්. දැනුවත්ව වෙන්නත් පුළුවන්. ඒක ආදරවන්තයින් ගේ දිනයට ගැලපෙන්න පුළුවන් අනෙකා වෙනස් කරන දුරින් පමණක් හිතුවොත්...කොහොම හරි වාක්‍යය මේකයි.

'ඔබ තුළ සිටින යුදෙව්වා මරා දමන්න'.