ජයලත් මනෝරත්න - රංගවේදියෙකුට එහා ගිය ප්‍රබුද්ධ මිනිසෙක්

මගේ හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වරෙක කීවේ හොඳ නළුවෙකු වීමට නම් බොරු මානය නැතිව ඕනෑම චරිතයකට ආරෝපණය වීමට හැකියාව ඇත්තකු වියයුතු බවය. මනෝරත්නයන්ද එවැනි ප්‍රතිභාවක් සහිත කලාකරුවෙකි.

පාඨලී චම්පික රණවක

ජයලත් මනෝරත්නයන්ට අවසන් ගෞරව දැක්වීමට මම ඔහුගේ නිවසට (13දා) ගියෙමි. බොරලැස්ගමුවේ අබේරත්න මාවත වාහන වලින්ද, සුදු ඇඳගත් මිනිසුන්ගෙන්ද පිරී තිබිණ. මට එක්වරම මතක් වූයේ සෝමවීර සේනානායක මහතාගේ අවමඟුලය. වැල නොකැඩී ජනතාව එකී අවමඟුලටද සහභාගී විය. මනෝරත්නයන් සියලු සමාජ කණ්ඩායම් තුළ සනිටුහන් කර ඇති මතකය එකී ජනකායෙන් පෙනී ගියේය.



එච්.ආර්. ජෝතිපල මියගිය විට බොරැල්ල කනත්තට එක්වූ විශාල ජනගඟ ගැන ‘ජනප්‍රිය සංස්කෘතිය’ නමින් කතිකාවක් එකල ඇතිකලේ මගේ මතකයේ හැටියට සරත් අමුණුගම මහතා විසිනි. ජෝතිපාල හා විජය කුමාරතුංගයන්ගේ අවමඟුල්, අමරදේව හෝ මනෝරත්නයන් සමඟ සැසඳීමට නොහැක. මුල් ගණයේ කලාකරුවෝ ජනයාගේ හදවතේ කම්පනය සමඟ රැඳී සිටියහ. දෙවැනි ගණයේ කලාකරුවන් බුද්ධිය හා හදවත යන දෙතැනම රැඳී සිටියහ.

දක්ෂ රංගන ශිල්පියෙකු, දක්ෂ ගායකයෙකු ලෙස අප හඳුනාගන්නේ කවර මිණුම්දණ්ඩකින් ද? එකී මිණුම්දණ්ඩ ප්‍රබුද්ධ යැයි කියන විචාරකයින්ගේ බුද්ධිමය විවරණයද ? නැතිනම් හුදී ජනයාගේ හදවතේ විවරණයද?

මගේ හැඟීමේ හැටියට හොඳ කලාකරුවෙකු/කලාකාරිනියක වන්නේ ඕනෑම චරිතයක් හොඳින් නිරූපනය කළ හැකි අයෙක් වීමය. රජෙකු/රජ කුමරියක මෙන්ම සිඟන්නෙකු/සිඟන්නියක ලෙසද, තරුණ මදය සහිත පෙම්වතෙකු/පෙම්වතියක මෙන්ම මහල්ලෙකු/මැහැලියකටද හොඳින් ආරෝපණය විය හැකි තැනැත්තා හොඳ නළුවෙකු/නිළියක ලෙස මම හඳුනාගන්නෙමි.

ඒ අනුව ඕනෑම චරිතයකට ආරෝපණය විය හැකි ජයලත් මනෝරත්නයන් හොඳ නළුවෙකු වෙයි.

මගේ හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වරෙක කීවේ හොඳ නළුවෙකු වීමට නම් බොරු මානය නැතිව ඕනෑම චරිතයකට ආරෝපණය වීමට හැකියාව ඇත්තකු වියයුතු බවය. ඒ අර්ථ නිරූපණයේද ඇත්තේ විවිධ චරිත සාර්ථකව නිරූපණයට ඇති හැකියාවය. එය ආකර්ශනීය රූපය, කටහඬ, සිනහව ආදියෙන් ඔබ්බට ගිය කුසලතාවකි.

මනෝරත්නයන්ද එවැනි ප්‍රතිභාවක් සහිත කලාකරුවෙකි.

මනෝරත්නයන් දේශපාලනිකව මා හඳුනාගන්නේ 2015 බල පෙරළියේදීය. බොහෝ ප්‍රබුද්ධ යැයි කියන කලාකරුවන් ධනයට, බලයට ඇති ලැදිකම දේශප්‍රේමයේ සඟවාගෙන ක්‍රියාකල අවස්ථාවක ජයලත් මනෝරත්නයන් නිර්භයව ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් පෙනි සිටියේය. එහෙත් එකී ජනවරම ලබාගත් පාලකයින්ට මනෝරත්න වැනි මිනිසුන්ගේ කැපවීම වැටහී ගියේ නැත. ඔවුනට 2015 තවත් එක දේශපාලන ගේමක් හා ඩීල් වලට ලැබුණු වරමක් විය. අද අප සියලු දෙනා ගෙවමින් සිටින්නේ ඒ දුෂ්ට පාවාදීමේ ඵලවිපාකයන්ය.

ප්‍රාසාංගික කලාව මඟින් ඉක්මනින් තරු බවට පත්වී එයට වැඩි වේගයෙන් බැස යන නවක කලාකරුවන්ට ජයලත් මනෝරත්නයන් ගුරු තරුවකි.

එතුමාට නිවන් සැප ලැබේවා !