“ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2020” සඳහා අයදුම්පත් කැඳවයි


ශී‍්‍ර ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක‍්‍රියාවට නංවනු ලබන ‘‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන’’ මෙවර ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය මගින් ක‍්‍රියාවට නංවා ඇත.

ඒ අනුව "ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2020'' වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති අතර අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2020 පෙබරවාරි 07 වන දින වේ.

වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18 - 55 ත් අතර  මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන් ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්  කළ හැකිය. තවද, ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සෘජුවම ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතු අතර අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතුය.

මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය මගින් දෙවරක් ප‍්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා, පාඨමාලාව සම්පූර්ණකර වසර 05 ක් ඉක්ම ගිය පසුව දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් උපාධි හා පශ්චාද් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (200,000) හා දිගුකාලීන, කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවනු ලැබේ. ශිෂ්‍යත්ව සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50 % ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 50 % න් 25 % ක් පාඨමාලාවේ දෙවන වාරිකය ලෙසත්, ඉතිරි 25 % පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුවත් ගෙවීම සිදුකරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබේ.

මේ සඳහා යොමු කරන සියලුම අයදුම්පත් 2020.02.07 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ - 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුවේ.

‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන 2020’ පිළිබඳ වැඩි විස්තර 0112513645 / 0112513459 / 0112513460 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.