Plan International ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කරයි


දශක 4 ක ට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකික දරුදැරියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ ප්ලෑන් ඉන්ටර්නැෂනල් (Plan International) ආයතනය ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කරන බව නිවේදනය කර සිටී. මෑතකාලීනව ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති සැළකිය යුතු ආර්ථික වර්ධනය සහ මානව සංවර්ධනය දර්ශකයේ රටවල් 189 ක් අතර 71 වැනි ස්ථානයට පැමිණෙමින් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය Plan International  ආයතනය ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට හේතුවේ. 

Plan International  ආයතනය1981 වසරේ සිට විවිධ ප්‍රජාවන්, හවුල්කරුවන් සහ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයන් වැඩ කර ඇති අතර පසුගිය වසර 38 ක කාලය තුළ දිවයිනේ පළාත් 5 ක 500,000 කට අධික දරුදැරියන් පිරිසකගේ ජීවිතවලට අත්වැලක් වී ඇත.

Plan International ආයතනයේ වැඩ කටයුතු මූලික වශයෙන් අවදානමක් ඇති දරුවන් හා තරුණ පිරිස් ඉලක්ක කළ අතර පසුගිය ගැටුම්වලට මැදි වූ ප්‍රජාවන්ට ඉතා වැදගත් වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සමාජ සම්බන්ධතා, විවිධත්වය වැනි අංශ වලින් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට Plan International ආයතනයට හැකි වී ඇත.

Plan International ආයතනයේ මූලික කාර්යභාරයන් අතරින් කිහිපයක් වූයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඇතුළුව) දෙමාපියන්ට සහ දරුවන් රැකබලා ගන්නා අයට දරුවන්ගේ පූර්ණ වර්ධනයට වැදගත් වන දැනුම සහ කුසලතාවයන් ලබා දීම, විශේෂයෙන්ම ගැහැණු දරුවන් ඇතුළු අවදානමක් ඇති දරුවන්ට පාසල් අධ්‍යාපනය වෙත යොමු වීමට සහය වීම, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, සූරාකෑම වැළක්වීම අපයෝජනයට ලක් වූ දරුවන්ට සහයෝගය දීම, ළමා ආරක්ෂාව සඳහා වැදගත් වන ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති වර්ධනය කිරීම, තරුණ පිරිසට සමාජයීය වශයෙන් ක්‍රියාකාරී වීමට සහ ජීවිකාවක් උපයා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීම වැනි කටයුතුයි.

Plan International ආයතනයේ ගෝලීය ක්‍රමෝපායෙහි අභිප්‍රාය වන්නේ උපකාර අත්‍යවශ්‍ය ප්‍රජාවන් වෙත ළඟා වී අවදානමක් ඇති දරුවන්ගේ ජීවිතවලට අත්වැලක් වීමයි. මෑතකාලයේදී ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණයන් හඳුනාගන්නා Plan International  ආයතනය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසාන කරන හෙයින් එම සම්පත් සහ අවශ්‍යතාවයන් තදින්ම ඇති වෙනත් රටවල් කරා යොමු කිරීමට හැකි වේ.

Plan International ආයතනය පසුගිය දශක 4 ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නන් අයුරින් සහයෝගය දුන් කාර්යමණ්ඩලය ඇතුළුව හවුල්කරුවන්, පරිත්‍යාගශීලීන්, ජාතික සහ පළාත් පාලන ආයතන, ප්‍රජාවන් සහ දරුදැරියන් වෙත සිය ස්තූතිය සහ කෘතඥතාවය ප්‍රකාශ කර සිටී.

Plan International ආයතනය සිය මෙහෙයුම් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා කම්කරු නීති ප්‍රකාරව සිදු කළ යුතු කටයුතු ඇතුළුව අනෙකුත් අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයන් ඔස්සේ ඉටු කරමින් සිටින අතර පරිත්‍යාගශීලීන් සහ ආයතනය විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද දරුවන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයින් සහ වැඩසටහන් හවුල්කරුවන් වෙත මේ පිළිබඳව දැනුම් දෙමින් පවතී.