හතේ අපේ පොත හා තොටගමු විභාරයේ අපේ කතාව




 - නන්දන වීරරත්න - 


අප ඉපදුණේත් හැදී වැඩුණේත් තොටගමු රත්පත් රජමහා විහාරයේ නැගෙනහිර මායිමේ පිහිටි මැටිවෙල විභාර ගමේය. තොටගමු විහාර පුජා භූමියේ ප්‍රධාන විහාර ගෙවල් දෙකකි. එකක් අලුත් විහාර ගෙයයි. දෙවැන්න පැරණි විහාර ගෙයයි. අලුත් විහාරගෙය 17 වෙනි සියවසේ අවසාන කාලයේ ඉදි කෙරුණකි. ලන්දේසි පාලන සමයේ වූවත් උඩරට රාජ්‍ය කරවූ නායක්කර් වංශික කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ධන පරිත්‍යාගයෙන් හා අධාරයෙන් ඉදිවූ මේ අලුත් විහාරගෙයි ඇත්තේ නුවර යුගයේ සිතුවම් හා මුර්තීන් ය. එයටම යාබදව පිහිටි පැරණි විහාරය නුවර යුගයටත් බොහෝ කලකට පෙර ඉදි වූ පෘතුගීසී සමයේ ගිනි දමා විනාශ කිරීමෙන් පසු ඉතිරිවූ බිත්ති මත යලි ඉදි කෙරුණු විහාරයේ පසුගිය සියවසේ මුලදී ඇඳි චිත්‍ර හා පිලිම දක්නට ලැබේ. මේ තොටගමු පුනරුදයේ අපුර්වත්වය වන්නේ මේ පැරණි විහාර ගෙයි නූතන සිතුවම් තිබීමත් අලුත් විහාරගෙයි පැරණි සිතුවම් තිබීමත්ය.

අලුත් විහාරගෙට පිවිසෙන බැතිමතෙකුට හරියටම ප්‍රධාන ගල් උළුවස්සෙන් ඇතුල් වෙද්දීම කෙලින්ම පෙනෙන්නේ බාහු බලයෙන් යුත් කඩවසම් දිව්ය කුමාරයෙක්ය. හෙතෙම උක්දඬු දුන්නක් අතින් ගෙන මල්හී වලින් පිරුණු හියොවුරක් දරා සිටින්නේය. මේ අනෙකෙකු නොවේ අනංග දිව්‍ය කුමාරයාය. පෙරදිග දේව පුරාණය අනුව ප්‍රේමයට හා අනුරාගයට අධිපති වන්නේ අනංග දෙවියන්ය. මේ අනංග දේව ප්‍රතිමාවේ විහිදෙන මානයේ, අලුත් විහාරයේ පිවිසුම් ගෙයි බිත්ති පුරා ජාතකකතා සිතුවම් කර ඇත්තේය. මේ සිතුවම් වල සිටින ස්ත්‍රීහු නුවර යුගයට ආවේණිකව උඩුකය නොවසති. නැතිනම් ගෙල වටා උතුරු සළුවක් පමණක් දමාගෙන සිටිති. නමුත් පරණ විහාරගෙයි පසුගිය සියවසේ මුලදී විත්‍රණය කෙරුණු සිතුවම්වල සිටින දිව්‍යාංගනාවන් පවා නවීන උඩුකය වැස්මෙන් සැරසී සිටිති. මේ අපුරු වෙනස අපේ සංස්කෘතික චින්තනයේ පරිණාමය හෙවත් වෙනස්වීම මැනවින් චිත්‍රණය කරන්නේය.

අපේ කතාන්දරයට අදාල වන්නේ මේ චිත්‍ර වල පශ්චාත් නුතන සිදුවීමක්ය. පසුගිය සියවසේ අගභාගයේදී තෙල්පහන් දැල්වීම නිසා මේ අලුත් විහාරගෙයි සිතුවම් දුර්වර්ණ වෙමින් තිබුණි. එමනිසා ඒවා මතුපිටින් පින්තාරු කිරීමේ යෝජනාවක් ආවාස ගෙයින් මතු වුණේය. ඒ අනුව පින්තාරුකරුවන් කැඳවුණේය. පලංචි ගැසුණේය. අගනා පැරණි සිතුවම් මත යලි පින්තාරු කිරීමට පටන් ගැනුණේය. ආවාසගෙය පැල්ලැක්කිද හෙවත් දෝලාවල්ද තිබූ පැරණි එකක් වූවත් එහි විසුවෝ වික්ටෝරියානු රැජිනගේ කාලයේ සංස්කෘතික චින්තනය අනුව හැඩගැසුණෝ වූහ. එම නිසා අලුතෙන් පින්තාරු කෙරෙන අලුත් විහාර ගෙයි අඩනිරුවත් ස්ත්‍රී රූපවලට හැට්ටා ඇන්දවීම ට පින්තාරුකරුවන්ට උපදෙස් ලැබුනේය. වාසනාවට විහාරයේ භාරකරු නවීන චින්තනයක් සහිත නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාකරුවෙකුව සිටි මහත්මයෙකු නිසා ඔහු තමාගේ පාලනයට නතු නොවූ විහාරගෙයි වැසියන් පාලනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේතුවේ නායකයන් කැඳෙව්වේය. ඒ අනුව මේ නව පින්තාරු කර්මාන්තය තහනම් කෙරුණේය. අනාගත පරපුරට අනංග දෙවියන්ද නුවර යුගයේ සෑබෑ ස්ත්‍රීන් දැක බලා ගැනීමට ද පින් ඉතිරි කෙරුණේය.

හතේ අපේ පොත හා තොටගමු විභාරයේ අපේ කතාව 

හතේ අපේ පොත පිළිබඳව ඇතිවී තිබෙන සංස්කෘතික විවාදයට මේ තොටගමු විහාරයේ අපේ කතාව අදාල වන්නේ කෙසේද ? අප ඉහතකී තොටගමු විහාරය යනු ඔබ මහමඟ දී අසුනෙන් නැඟිටින පාර අයිනේ රෙසවේෂන් ඉඩමක ඉදිවූ අලුත් විහාර කර්මාන්තයක් නොවේ. වසර දහස් ගනනක් පැරණි එනම් දේවානම්පිය තිස්ස රජු දවසේ පටන් පවතින සදිසා පිළිමයක් ඉදි වූ රත්පත් විහාරයයි. එහි 15 වෙනි සියවස වෙද්දී වැඩ සිටියෝ මහා කවි තොටගමුවේ රාහුලයෝය. කෝට්ටේ යුගයේ රජකමේ උරුමයට නිස්සෙක් නැතිව ආරාජකවේය බියෙන් උලකුඩය දේවීයට වල්ලභයෙක් පමනක් නොව පුත් කුමාරයෙක් ලැබීම වෙනුවෙන්ද කාව්‍ය රචනා කලේ මුන්වහන්සේය. එකල සංඝරාජයෝ ද එතුමෝය. වැරදීවත් අද සිටියානම් නවීන බෞද්ධයෝ එතුමන්ට රාජගැති ගණින්නාන්සේ කෙනෙක් හැටියට අවමන් කරණු ඇත. එතුමන් රචිත පරෙවි සංදේශයේ අර්ථ කීමට යන නවීන සිංහල ටියුෂන් කාරයන්ද ඇඹරෙන්නේය. සැළලිහිණි සංදේශයේ ස්ත්රි වර්ණනා ලයනල් වෙන්ට් ගේ නිරුවත් ස්ත්‍රී ඡායාරූප වලටත් ජෝජ් කීට් ගේ චිත්‍ර වලටත් ඉදිරියෙන් තවමත් පිහිටන්නේය. තොටගමුවේ රාහුලයන් පවුල් ජීවිතය කවියට නඟද්දී ඒ ගැන තිබූ විශ්මිත දැනුම කාව්‍යශේකරයෙන් මතුවන්නේය. අප මුලදී කතා කල තොටගමු විහාරයේ අනංගයා ලංකාවේ විහාර ගෙයක වැඩ සිටින එකම අනංගයා බවට පත් වන්නේ මේ රාහුල උරුමය නිසාය. එතුමන් මේ නම උරුම කරගන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ පවුල් ජීවිතයේ උරුමක්කාරයා ගෙන් වීම ඉතිහාසයේ අඛණ්ඩතාවයට කෙතරම් ගැලපේද ?

නලනී ජාතකය හා අනුරාග විද්‍යාව 

මේ අතීත උරුමය මුළුමහත් මානව සංහතියේම උරුමයකි. මාර්ටින් වික්‍රමසිංහ මතුකර දුන් අකාරයට ජාතක පොත යනු මේ මානව අත්දැකීම් වල සාරයයි. බෝධිසත්වයෝ පුර්ව ආත්මවල ගෙවූ දිවිය ඇසුරෙන් මේ මානව දිවියේ අන්ධකාර පැති දැක ගැනීමට අපට මනා ආලෝකයක් සපයති. එහි දී අන්තවාදී අනුරාගයේ විනාශය මෙන්ම අනුරාග විද්‍යාව නොදැන සිටීමේ අවුලද බැති මතුන්ට උගන්වති. මානව දිවියේ ස්වභාවය මෙයයි කියා දෙති. අද වෙසෙන විචිත්‍ර ධර්ම කථිකයන්ට දේශනා කිරීමට තබා පිටු පෙරලාවත් බැලිය නොහැකි නලනී ජාතකය මේ අනුරාග විද්‍යාව දරුවන්ට නීගැන්වූ මෝඩ බමුණු තවුසෙක් වෙනුවෙන්ම ලියැවුනකි.

ඔබේ පහසුවට නලනීගේ කතාව කෙටියෙන් කීවොත් මෙසේය. බොහෝ අතීතයේ කසීරට මහසල් බමුණු කුලයක සිටී තරුණ බමුණෙක් හිමාලයට ගොස් බවුන් වඩා ධ්‍යාන උපදවා ගන්නේය. දිනක ඔහුගේ මුත්‍රා සමඟ පිටවෙන පුරුෂ ධාතු වැටුණු තැන තණ බුදින මුවදෙනක් එයින්ම ගැබ්බරව පුත් කුමරෙක් වදන්නීය. හෙතෙම ඉසිසිංහ නම් වන්නේය. තවුසා මේ මුව දෙනගෙන් උපන් ඉසිසිංහ කුමාරයා ළමාවියේ පටන්ම තපසට හුරුකර වන්නේය. ඉසිසිංහ කුමරු තරුන වියේම ධ්යාන භාවන කොට සමාපත්ති උපදවාගෙන පිය තාපසයා සමඟ වසන්නේය.

මේ තරුණ තවුසාගේ සීල තේජසෙන් අසල්වැසි කසී රටේ මහ නියඟයක් ඇති වන්නේය. නියඟය නිම වී වැසි වැටෙන්නේ තවුසාගේ සිල්බිඳි දවසටය. ඉසිසිංහ තවුසාගේ සිල් බිදීමට තෝරා ගන්නේ රජතුමාගේ දූ කුමරිය වූ නලනී කුමාරිකාවය. ඕ වැද්දන් සමඟ හිමාලයේ පාරවල් සොයාගෙන මේ තවුස් පියපුතු වෙසෙන අරණට හුදකලාවම දුහුල් සලුපිළි ඇන්ද යන්නිය. කිසිම දිනෙක ස්ත්‍රියක් නොව පියා තබා පිය තවුසා හැර වෙනත් මනුෂයෙකු දැක නොතිබුනු ඉසිසිංහ කුමරා තමාගේ සිල් බිදීමට පැමිණි කුමරියට වසඟව ජීවිතයේ ප්‍රථම අනුරාග රසය විඳ තවුස් දම් බිඳ ගන්නා අකාරය නලනී ජාතකයෙන් අපුරු හාස්‍ය රසයකින් කුරුණෑගල යුගයේ ජාතකකතා රචකයා අනාගතයට ඉතිරි කරන්නේය.

මෙහි මුලිකම අර්ථය අන් කිසිවක් නොවේ ව්‍යවහාරික ජීවිතය, අනුරාග ජීවිතය නොදත් මනුෂ්‍යයෙකුට අත්වෙන සෝචනීය ඉරණමය. එහි ප්‍රධාන කොටස්කරු ඉසිසිංහ නොව පිය මහ බමුණාය. බුදු සමය බමුණු කුලවාදයට පමනක් නොව එහි සංස්කෘතියට ද නිරන්තරයෙන් ම සිනාසුණේය. මේ ආකාරයට බමුණු ලිංගික සංස්කෘතියට බුදු සමය සිනාසෙන ජාතකකතා දුසිම් ගනක් තිබේ. පංචපාපා, අන්ධභූධ , පදමානවක හා කච්චප ජාතක එයින් කීපයකි.



වික්ටෝරියානු සුචරිතවාදය කරපින්නාගත් පැවිද්දන් හා ගිහියන්

අවාසනාවට මේ ජාතකකතා දෙසීමට හෝ අර්ථදැක්වීමට වික්ටොරියානු සුචරිතවාදය තවමත් කරපින්නාගෙන සිටින පැවිද්දන්ට හෝ ගිහියන්ට නොහැකිය. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ලජ්ජාවේ තරමට ලෝකය ද කපා මට්ටම් කිරීමටය. නමුත් මුල් බුදුදහම එබඳු උත්සාහයන්ට ඉඩතබා නැත. ඒ වෙනුවෙන් තෙරතේරී ගථා, විනය පිටකය බඳු මානව ලිංගිකත්වය පිලිබඳ අපුරු පාඩම් හා අත්දැකීම් වාරනයකින් තොරව අනාගතයට ගෙනැවිත් තිබෙන්නේය.

වලගම්බා යුගයට පෙර කාලයට මොහොතක් ඔබ මනසින් යන්න. එකල ජාතක පොත තබා ත්‍රිපිටකයත් අනාගතයට ගෙන ඒමේ වගකීම දැරුවේ භානක පරම්පරාය. නැතිනම් ධර්මය කටපාඩමින් තබාගත් භික්ෂු පරම්පරාවය. ඔවුන් කිසිදු අවුලකින් තොරව තේරතේරී ගාථා, විනය පිටකය හා මේ අනුරාගී ජාතකකතා අපි වෙනුවෙන් කටපාඩම් කලහ. ඔවුන්ට වික්ටෝරියානු සුචරිතවාදය හෝ ඉංග්‍රීසි ආක්‍රමණ එකල තිබුණා නම් අපිට මේ අගනා මානව අත්දැකීම් බුදු දහම තුලින් නොලැබෙන්නේය.