චම්පිකගේ කතාව

සිය කඳවුරේ අපේක්ෂකයා වූ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජය වුවද රණවක හෙළ උරුමයේ නායකයා, ඉන් නැවතුණේ නැත. ඔහුගේ ඊළඟ දේශපාලන උත්සාහය ලෙස පෙනුණේ දුර්වල වී ඇති එජාපයේ නායකත්ව මට්ටමේ තනතුරක් ලබා එජාපයට එක්වීමටය. ඊට ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවසරය පවා ගැනීමට තරම් ඔහු දුර ගොස් තිබිණි. 

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ


රට තුළ උණුසුම් ලෙස කතාබහට ලක්වන සිද්ධීන් බොහොමයක ම පාහේ දේශපාලන අර්ථයක් නැතැයි කිව නොහැකිය. ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් වූ ස්විස් තානාපති කාර්යාලයේ සහකාර වීසා නිලධාරිනියගේ සිද්ධිය, චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සිද්ධිය, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සිද්ධියද සැලකිය හැක්කේ එවැනි දේශපාලන අර්ථයක් ඇති සිද්ධීන් ලෙසය. ගානියර් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර රණවක රිමාන්ඞ් භාරයේ සිට ඇප ලබා සිටී. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා, රාජිත තුන් වරක් අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවාක් මෙන්ම ඔහුව අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විවෘත වරෙන්තුවක්ද නිකුත් කර ඇත. ඇතැම් විට මේ සටහන පළවන විට ඔහු අත්අඩංගුවට ගෙන තිබිය හැක.




ඉතිහාසය


රණවක මහතාගේ දේශපාලන ඉතිහාස කතාවේදී ඔහු සමග සිටි ඇතැමුන්ට ඔහු වීරයෙකු මෙන්ම ද්‍රෝහියෙකු විය හැකිය. මහාචාර්ය නලින්ද සිල්වා ඇතුළු ජාතික චින්තන කණ්ඩායම, ජනතා මිතුරෝ කණ්ඩායම, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ කණ්ඩායම, සිහළ උරුමයේ එස්. එල්. ගුණසේකර (මියගිය), තිලක් කරුණාරත්න වැන්නවුන්, අතුරලියේ රතන හිමියන්, උදය ගම්මන්පිල, කොළොන්නාවේ සුමංගල හිමියන්, උඩුවේ ධම්මාලෝක හිමියන්, පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, සුජිත් අක්කරවත්ත ආදී ඔහු හැරගිය අය මෙන්ම හැඩිගල්ලේ විමලසාර හිමියන්, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ආදී දැන් ඔහු සමග සිටින්නන්, මීට පෙර බොහෝ දේ කියන්නට ඇතිවාක් මෙන්ම දැන් බොහෝ දේ කියනු ඇතැයි සිතිය හැක. ඒ වගේම ජවිපෙ දෙවන අරගලයේදී අත්අඩංගුවට පත්ව කොළඹ සරසවියේ නීති පිඨයේ වධකාගාරයේ ඔහු ගෙවූ ජීවිතය පිළිබඳව ඉන් බේරී ආ අනෙක් අයටද කියන්නට දේ තිබිය හැක. ඒවා එසේ තිබියදී වර්තමාන දේශපාලන තත්ත්වය තේරුම් ගැනීම වැදගත් වන්නා සේම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කාරණයද වැදගත්ය.


යහපාලනය


පාඨලී චම්පික රණවක හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාය. නැතහොත් නායකයා යැයි කිව හැකිය. ඔහු ඇතුළු හෙළ උරුමය පක්ෂය, 2005 පිහිටුවූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද නියෝජනය කළේය. එල්ටීටීඊ ත්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කිරීමට එකල ජවිපෙ ආදී පක්ෂ හා සමපාතව උපරිම සහයෝගය දැක්වූ ඔහු 2010දී පිහිටුවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ම නායකත්වයෙන් තිබූ එජනිස ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූයේය. පසුව අවසන් මොහොතේදී ඉන් ඉවත්ව එජාපෙ සමග එක්වූවා පමණක් නොව 2015දී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට බරපතළ ලෙස කැපවී ක්‍රියා කළේය. ‘ජාතික විධායක සභාව’ නැමති යහපාලන ආණ්ඩුව ස්ථාපිත කර තිබූ කමිටුවේ ඔහුද සාමාජිකත්වය දැරූ බව කියැවේ. ඒ පිළිබඳ හරියට ම තොරතුරු මා නොදන්නේ වුවද රාජපක්ෂ පාලන සමයේ චෝදනා එල්ල වූ සිද්ධීන් රැසක සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, ඒ වෙනුවෙන් ම ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්සීඅයිඩි යට, උපදෙස් දී ඇත්තේ මෙම කමිටුවෙන් බවද ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එෆ්සීඅයිඩී ප්‍රධානියා වූ රවි විද්‍යාලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පසු කලෙක හෙළි කළේ තමන්ට දේශපාලන බලපෑම් එල්ල වූ බවය. එහිදී චම්පික රණවකගේ නමද කියැවිණි. එෆ්. සී.අයි.ඩි.යෙන් නඩු පැවරූ අය සහ බන්ධනාගාර ගත කළ අය අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ පොජපෙ ජාතික සංවිධායකවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ආදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, ලලිත් වීරතුංග, අනුර සේනානායක ආදී එකට ආණ්ඩු කළ වෙනත් දේශපාලකයෝ මෙන්ම නිලධාරීහුද වූහ.


ජනාධිපතිවරණය


ඒ වගේම 2019 ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ එජාප නායකයාගේ සහය උපරිම මට්ටමින් නොලැබෙද්දී, එම කඳවුරේ අපේක්ෂකයා වූ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම පිණිස රණවක මහතා උපරිමව කැපවූ බවද පෙනුණි. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයට එරෙහිව යමින් ප්‍රේමදාස මහතාට අවශ්‍යයෙන් ම එජාප අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට කියූ එජාපෙ මුල් පෙළේ පක්ෂ නායකයෙක් වන්නේද රණවක මහතාය. එජාපයේ සහ එජාපෙ අපේක්ෂකයා අවිනිශ්චිතව පවතිද්දී තමා ඊට සූදානම් බව ඇඟවෙන දේශපාලන ක්‍රියාකාරකම් රැසක්ද පූර්ව ජනාධිපතිවරණ සමයේ ඔහුගේ පාර්ශ්වයෙන් එළිදැක්වුණු බව රහසක් නොවන්නේය. විශේෂයෙන් ම 2015 යහපාලන ආණ්ඩුව ගොඩනැගීම උදෙසා කැපවූ ඇතැම් සිවිල් සංවිධාන සාමාජිකයන් පමණක් නොව එජාප නායකයාගේ හිටපු සමීපතමයන් පවා ඔහුව දේශපාලනිකව ගොඩනැංවීම උදෙසා ක්‍රියා කළ බව පෙනිණි. ජාතික මග නමින් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක්ද ඔහු සංවිධාන කළා පමණක් නොව ‘ඉන්න හිතෙන රටකට’ තේමාව යටතේ “ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම” ලෙස ප්‍රතිපත්ති මාලාවක්ද රටට ඉදිරිපත් කළේය.


ඡන්දයෙන් පසු


සිය කඳවුරේ අපේක්ෂකයා වූ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජය වුවද රණවක හෙළ උරුමයේ නායකයා, ඉන් නැවතුණේ නැත. ඔහුගේ ඊළඟ දේශපාලන උත්සාහය ලෙස පෙනුණේ දුර්වල වී ඇති එජාපයේ නායකත්ව මට්ටමේ තනතුරක් ලබා එජාපයට එක්වීමටය. ඊට ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවසරය පවා ගැනීමට තරම් ඔහු දුර ගොස් තිබිණි. ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත්වන්නේ නම් එම පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය හෝ ජාතික සංවිධායක ධුරය ඔහු බලාපොරොත්තු විය.


අනෙක් පැත්තෙන් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂක ධුරය හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීමට වික්‍රමසිංහ එජාප නායකයා සහ ඔහුගේ පිරිවර කැමති වුවද පක්ෂ නායකත්වය දීමට කිසිසේත් ම එකඟ වන වටපිටාවක් තිබෙන බවක් පෙනෙන්නේ නැත. එවැනි තත්ත්වයකදී වුවද එජාපය කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් හැදීමේ යෝජනාවට ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කැමැත්ත පළ කර නොතිබෙන වාතාවරණයකදී පවා, රණවක හිටපු අමාත්‍යවරයා ඒ වෙනුවෙන් සූදානම් වූ බව අනුමාන කළ හැකිය. මෙය එක් පැත්තකින් වික්‍රමසිංහ එජාප නායකයාට මෙන්ම ඒ වෙනුවට පත්වීමට අපේක්ෂාවෙන් සිටින ජයසූරිය කතානායකවරයාටද දේශපාලන තර්ජනයක් විය හැකිය. එවැනි නව පක්ෂයක් ගොඩනගා ප්‍රේමදාස සහ චම්පික එහි නායකයන් වුවහොත් සහ එජාප පාක්ෂිකයන් ඒ වටා රොක් වුවහොත්, එය වික්‍රමසිංහ මහතාට හා ඔහුගේ පිරිවරට පැහැදිලි දේශපාලන තර්ජනයක් වන්නේය. දැනට එජාප ජාතික සන්ධායක ධුරයේ සිටින ජයසූරිය කතානායකවරයාගේ බෑණා වන, -ප්‍රබල එජාප නායකයෙකු වූ ගාමිණි දිසානායකගේ වැඩිමහලු පුත්‍රයා- නවීන් දිසානායකගේ දේශපාලන අනාගතයටද එය අහිතකර ලෙස බලපෑම් කිරීමේ ඉඩකඩ වැඩිය.

ඒ වගේම එවැන්නක් සිදුවුවහොත් පොජපෙ ආණ්ඩුවටද එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එයින් වෙනස් බලපෑමක් එල්ලවීම වැළැක්විය නොහැක. මේ නිසා දුර්වල වී ඇති එජාපයට ඔක්සිජන් එන්නත් කිරීම මෙන්ම ජාතික නායකයෙකු ලෙස ඉස්මතු වීම, රණවක මහතාගේ දේශපාලන ගමනේ ඉදිරි පියවරයන් ලෙස සැලකිය හැකිය. මේ උදෙසා ඔහුට ආශිර්වාදයක් වූයේද ජනාධිපතිවරණයේ එජාප ප්‍රතිඵලය සහ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය බවද අපැහැදිලි නැත.

එජාපයේ අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමේ ප්‍රබල හේතුව ලෙස සැලකිය හැක්කේ, ශ්‍රී ලංකාවේ බහුතරයන් වන සිංහල සහ බෞද්ධ ජනතාව තුළ එම පක්ෂය පිළිබඳ තිබෙන බරපතළ අවිශ්වාසයයි. එජාපයට සමීප වී සිටින රාජ්‍ය නොවන සිවිල් සංවිධානවල නව ලිබරල්වාදී පොතේගුරුවාදයන් මෙන්ම ඒ පසුපස හෝ ඊට සමපාතව යන එජාපයේ ඇතැම් නායකයන්ගේ දේශපාලන විලාසය, එජාපයේ සිංහල සහ බෞද්ධ පදනම ඈත් කිරීමට මූලික වශයෙන් හේතු වූවා යැයි සිතිය හැක. එය නැවත එජාපයට එන්නත් කර ගැනීමට චම්පික හොඳ සිරින්ජයක් ලෙස, සජිත් සමග සිටින එජාප නායකයන් මෙන්ම එජාපෙ අනෙකුත් පක්ෂ පවා කල්පනා නොකළා විය නොහැකිය. එජාපය ඉදිරි මහ මැතිවරණය පරාජය වුවත් සිංහල සහ බෞද්ධ ජනතාවගේ විශ්වාසය යළි ලැබෙමින් පවතින පක්ෂයක් බවට පත්වීමේ සලකුණු එකතු කරගත හැකි වුවහොත් එය ඉදිරි ජයග්‍රහණයට මාවතක් වන්නේය. එය එජාපයටත් වඩා, රණවක හෙළ උරුමය නායකයාගේ දේශපාලන ගමන තවත් තීව්‍ර මෙන්ම වේගවත් කරනු ඇතැයි සිතිය හැක. මේ නිසා එජාපයේ උවමනාව, චම්පිකගේ උවමනාව හා සමපාත වීමේ දේශපාලන තත්ත්වය, පැහැදිලිව ම ඔහුට වාසිදායක දේශපාලන අනාගතයක් උදාකර දී තිබෙන්නේ යැයි විශ්වාස කළ හැකිය. එජාපයේ සිටින සිංහල සහ බෞද්ධ නායකයෙක් යැයි සැලකෙන ජයසූරිය කතානායකවරයා වඩාත් සමීප වී සිටින්නේ ප්‍රේමදාස මහතාට නොව වික්‍රමසිංහ මහතාට හා රාජ්‍ය නොවන සිවිල් සංවිධානවලට නිසා, එම තත්ත්වයද චම්පිකගේ වාසියට හේතු විය හැකිය. තවත් පැත්තකින් ඔහු රාජපක්ෂ කඳවුරෙන් ඉවත්වීමත් සමග ඔහු ඔහුගේ මූලික පදනම වූ සිංහල ජාතිකවාදයත් බෞද්ධ සංස්කෘතිකවාදයත් ඉක්මවා ගිය බව පෙනේ. එවැනි තත්ත්වයක් එජාපය වැනි ලිබරල්වාදයට බර ධනවාදී පක්ෂයක් හා එක්වීමට මාවතක් වනවා මිස බාධාවක් වන්නේ නැත. ඇතැම්විට ජාතිකවාදය ගඟෙන් එගොඩවීමට ඔරුවක් විය හැකිය.


පරාජයේ විග්‍රහය


අනෙක් පැත්තෙන් එජාප අපේක්ෂකයා ජනාධිපතිවරණය පරාජය වීමේ දේශපාලන සංසිද්ධියට රණවක මහතාට හොඳ විග්‍රහයක් තිබුණේ යැයි සිතිය හැක. ඔහු විටෙක ප්‍රකාශ කර තිබුණේ මෙම ජනාධිපතිවරණයේදී කුල පදනම සජිත්ට වාසිදායක බලපෑමක් කරනු ඇතැයි මිථ්‍යාවක් වපුරා තිබූ බවය. කුලය තවමත් ඇතැම් සුවිශේෂී තත්ත්වයන් යටතේ දේශපාලනයේදීද බොහෝවිට රහසේ සිංහල මෙන්ම දෙමළ සමාජයන්ට වැඩිපුර බලපෑම් කරමින් සිටියත් රටම එකම ඡන්ද කොට්ඨාසයක් වන ජනාධිපතිවරණය වැනි ඡන්දයකදී එහි බලපෑම ගණන් ගත යුතු තත්ත්වයක තිබෙන්නේ යැයි විශ්වාස කළ නොහැක. එසේ තිබියදී සමාජයෙන් නෙරපා හැරිය යුතු එවැනි පටු මතයන් වැපිරීම සහ ඒ මත දේශපාලන ජයග්‍රහණ උදෙසා කටයුතු කිරීම, සහාසික ක්‍රියාවක් වන්නේය. තමන් ලිබරල් යැයිද ජාතිවාදය ප්‍රතික්ෂේප කළ යුතු යැයිද කියාගනිමින් ම ඡන්දයකින් ජය ගැනීම උදෙසා කුලවාදය ප්‍රවර්ධනය කිරීම පිළිගත හැකිද ?

රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර දින, හෙළ උරුමය පක්ෂයේ නිල නායකයා වන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ දේද වැදගත්ය. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මහින්ද, ගෝඨාභය, චම්පික ආදීන් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ සිටි සහෝදරයන් බවය. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිවරයා වූ ආණ්ඩුවකින් රණවක අත්අඩංගුවට ගැනීම නොකළ යුත්තක් බව එම කතාවේ හරය ලෙස සැලකිය හැකිය. එහෙත් එය එසේ වූයේ නැත.

එසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේද, මහින්ද රාජපක්ෂ අග්‍රමත්‍යවරයාගේද එම කඳවුරේ සිටින දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ආචාර්ය ගුණදාස අමරසේකර, ගෙවිඳු කුමරතුංග ආදීන්ගේද සමස්තයක් ලෙස පොජපෙ මූලික සන්ධානයේද, හෙළ උරුමයේද, චම්පික රණවක මන්ත්‍රීවරයාගේද, දේශපාලනයේ පදනම වන්නේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ සංස්කෘතිකවාදයයි. මේ නිසා වර්තමානයේ එම පදනම දෙදරීමකට ලක්ව ඇති එජාපයට රණවක මහතාගේ දේශපාලනය වැදගත් වන්නා සේම මේ වනවිට එම පදනම ඉහළ මට්ටමක පවත්නා පොජපෙ ප්‍රමුඛ සන්ධානයටද එය වැදගත් වන්නේය. මේ නිසා රණවක මහතා අත්අඩංගුවට ගැනීම හා සමපාතව එජාපයේ මෙන්ම පොජපෙ මේ දේශපාලන තත්ත්වය සමාජයට බලපෑම් නොකරන්නේ යැයි කිව නොහැකිය.

ඇත්ත, නැත්ත


එමෙන්ම ඒ හා සමගම මෙවැනි වාතාවරණයකදී සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සමාජය පුරා බොරු ව්‍යාප්ත කිරීමේ සහ ව්‍යාප්ත වීමේ තත්ත්වයද ඇත්තේ ඉහළ මට්ටමකය. ඉන් එකක් වන්නේ චම්පික රණවක අත්අඩංගුවට ගත්තේ 2016දී රාජගිරියේදී රිය අනතුරක් සිදු කළ හේතුව මත බවය. එම නඩුව අවසන් බව හා වරද පිළිගත් නිසා චම්පිකගේ රියදුරාට අධිකරණයෙන් දඬුවම් කළ බවද කියැවෙන්නේය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රහස්පතින්දා (19) අධිකරණයට කියා තිබුණේ 2016 වසරේ රිය අනතුරක් සිදුකර, සත්‍ය වසන් කිරීම හා වෙනත් අයෙක් රිය අනතුර සිදු කළ අය ලෙස හඟවා ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවය. රිය අනතුර සිදුවන අවස්ථාවේ රණවක මහතා රිය පැදවූ බවට පැහැදිලි සාක්ෂි ඇති බවද රියදුරා හා ඔහු අතර ඒ අවස්ථාවේදී සිදු වූ දුරකතන සංවාදයේ විශ්ලේෂණ වාර්තා අනුවත් මෙය ඔප්පු වන බව හා අනතුර වන වේලාවේ රියදුරා වෙනත් ප්‍රදේශයක සිට ඇති බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබිණි. ඒවා සත්‍ය දැයි අධිකරණයේදී ඔප්පු විය යුතු වුවත්, අත්අඩංගුවට ගත් චෝදනා පැහැදිලිය.


එම චෝදනා සත්‍ය නම්, එසේ තමන් පදවාගෙන ආ වාහනය අනතුරකට ලක්වූ විට එය පැදවූයේ වෙනත් රියදුරෙකු යැයි කියා පොලිසිය හා අධිකරණය නොමග යැවීම නීතියට පමණක් නොව මිනිස් ගුණයන්ට පවා ගැළපෙන්නේ නැත. එවැනි තත්ත්වයකදී සාමාන්‍ය පුරවැසියෙකටත් වඩා වැඩි වගකීමක් ජනතා නියෝජිතයෙකුට, විශේෂයෙන් අමාත්‍යවරයෙකුට ඇත්තේය. යහපාලනයට පවා එය ගැළපෙන්නේ යැයි සිතිය නොහැක. අනෙක් පැත්තෙන් සිදු වී ඇත්තේ එවැන්නක් නම් පොලිසිය එය දැන දැනම එම වංචාවට, බොරුවට ඉඩ දුන්නේ නම් එම නිලධාරීන්ට පවා දඬුවම් ලබාදීම නීතියේ වගකීමක් වන්නේය. රිය පැදවූයේ රණවක මන්ත්‍රීවරයා බව සත්‍ය නම් ඒ සත්‍යයට ඔහු එම අවස්ථාවේ මුහුණ නොදුන්නේ ඇයි? ඔහු රිය පැදවූයේ නම් හා එම සත්‍යයට ඔහු මුහුණ දුන්නේ නම්, ප්‍රශ්නය 2016 දීම අවසන් වන්නේය. ඔහු රිය පැදවූවද නොවූවද, එහි ගැටුණු තරුණයා පැදවූයේ මෙරට පාරේ පැද යා නොහැකි මෝටර් බයිසිකලයක් වුවද නොවුවද අනතුරින් පසු තවම යථා තත්ත්වයට පත්ව නොමැති එම තරුණයා පිළිබඳ සොයා නොබැලීම අනුමත කළ හැකිද?

තාජුඩීන්


වසීම් තාජුඩීන් අනතුරේ නඩුවද මීට යම් පමණකට සමානය. රාජපක්ෂ පාලන සමයේදී කියැවුණේ එය අනතුරකින් වූ මරණයක් බවය. ‘යහපාලන’ සමයේ කියැවුණේ ඝාතනයක් බවය. ඒ අනුව යට ගොස් තිබූ සිද්ධිය යළි ඉස්මතු වූවා පමණක් නොව ප්‍රධාන නඩුව පසෙක තිබියදී, කරුණු සැඟවූ චෝදනාවන්ට එකල සිටි උසස් පොලිස් නිලධාරීන්ට පවා අතිරේක නඩු හේතුවෙන් බන්ධනාගාර ගතවීමට සිදුවිය. එහෙත් එක් පොලිස් නිලධාරියෙකු නව ආණ්ඩුව ස්ථාපිත වූ පසු පවසා තිබුණේ එකල සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුට ඕනෑ විධියට සාක්ෂි කියන්නැයි තමන්ව මගට ගෙන්වා බලපෑම් කළ බවය. මේවායේ සත්‍ය අසත්‍යතාව රටේ ජනතාව දැන ගැනීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු වුවත් රට තිබෙන්නේ ඒවා කිසි දිනක ඉටු නොවන තත්ත්වයකය.

තම ආණ්ඩු යටතේ තම හිතවතුන්ගේ වැරදි සඟවා, සත්‍ය යටපත් කරන්නටත්, තම විරුද්ධවාදීන්ගේ වැරදි එළියට ගෙන, සත්‍ය ඉස්මතු කරන්නටත් පෙළඹෙන ක්‍රියාවලිය මෙරට සියලු ආණ්ඩු යටතේ සිදුවී ඇත. එහෙත් විය යුත්තේ එවැන්නක් නොවනවා පමණක් නොව ඕනෑම වරදකදී නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට බාධා නොකිරීමය.

( උපුටා ගැනීම : රාවය )