2020 ට වේවැල් විනය වෙනුවට කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් ?



- කුසල් පෙරේරා - 



රාජ්‍ය ආයතනවල සිදුවන කටයුතු සොයා බැලීමට පසුගිය දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිප තැනකට ගිය බැව් ප්‍රධාන මාධ්‍යයන්හි මෙන්ම සමාජ මාධ්‍ය ජාලයන්හිද වාර්තා විය. ඒ සම්බන්ධ ඔහුගේ නිල “ට්විට” දැන්වීම්ද විය. ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු අනුව රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතාවාදී සේවයක් බවට පත් කිරීමට ඔහු එළෙස පියවර ගන්නා බව ඉන් කියවුනි. දුන් පොරොන්දු ඉටු කිරීමේ උත්සාහයක් ලෙස එය වැදගත් ය.

රාජ්‍ය ආයතන සමග රාජ්‍ය පාලනය පිරිහී තිබෙන තරම මේ රටේ අලුතින් විස්තර කරන්නට අවශ්‍ය වන්නක් නොවේ. රාජ්‍ය පාලනය නියත වශයෙන්ම ගොඩ දැමිය යුත්තකි. ප්‍රශ්නය වන්නේ රාජ්‍ය පාලනයෙහි අලුත් වෙනසකට මුල පුරන්නට හැක්කේ කෙසේද යනුවෙනි. ඒ වෙනුවෙන් පිළිවෙත් දෙකක් ඇත. එකක් තරමක වෙහෙසක් දැරිය යුතු පිළිවෙතකි. එහෙත් එය ස්ථාවර, ස්ථිරසාර හා නිදහස් පිළිවෙතකි. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට ගොස් එතැන සිට පිළියම් කිරීම් ආරම්භ කළ යුතු වන්නේය. එවිට මේ හඩු ජාවාරම්කාරයින්ගේ විවෘත වෙළඳපල ආර්ථිකයට විකල්පයක් හදා ගැනීමේ සිට, ඔවුන් විසින් නඩත්තු කරන්නාවූ දේශපාලන පක්ෂ හා වෘත්තික සේවාවන් දක්වා සියල්ල පිරිසිදු කරන්නට සිදු වන්නේය. විවෘත වෙළඳපලට විකල්පයක් සමග නව ප්‍රතිසංස්කරණ ගැන කතා ආරම්භ කිරීම සමාජ වගකීමකි. එයට සියල්ලන් හවුල්කර ගැනීම දේශපාලන නායකත්වයට පැවරෙන වගකීමකි. මෙය තරමක් වෙහෙසකර යැයි කීවේ එවැනි පිළිවෙතක් අඛණ්ඩ සමාජ කතිකාවක් සමගින් පවත්වාගත යුතු හෙයිනි. එවැන්නක් බාර ගන්නා දේශපාලන නායකත්වයකට ඒ සඳහා වන දේශපාලන දැක්මක් හා අධිශ්ඨානයක්ද තිබිය යුතු හෙයිනි.  

අනෙක් පිළිවෙත, සැර පරුස විදුහල්පතිවරයෙකු දිගු වේවැලක් රැගෙන පංතියෙන් පංතියට ගොස් පාසලේ විනය හදන්නාක් වැනි පිළිවෙතකි. ඒ සඳහා දෙමාපියන් සහ පාසලේ ගුරුවරුන්ගේ සහභාගිත්වය ලබා ගැනීමක් නැත. දරුවන්ගේ සිතුම් පැතුම් පෝෂණය කරමින් ආකල්ප නිවැරදිව හැඩ කරමින් පාසල් විනය දියුණු කිරීමක් එහි නැත. එහි ඇත්තේ වේවැලේ හයියෙන් සිසු සිසුවියන් පාලනය කිරීමකි. ඒ විදුහල්පති මාරුවී ගියවිට “දැන් නම් ඉස්කෝලෙ ගන්න දෙයක් නැහැ” යැයි දෙමාපියන් කියන්නේ “විනය” ගැන නොව “පාලනය” ගැනය.

කන්ද උඩරට 1848 කැරැල්ලට නායකත්වය දීමට රජෙකු නොවූයෙන් දඹුලු විහාරයේ විහාරාධිපති ගිරානෙගම හාමුදුරුවෝ ගොංගාලෙගොඩ බණ්ඩා “ශ්‍රී වික්‍රම සුභ සාර්ව සිද්ධි රාජසිංහ” ලෙස කන්ද උඩරට සිංහල රජු යැයි ප්‍රකාශයට පත්කර ඔහුගේ මහ සෙනෙවි සහ අගමැති ලෙස පුරන් අප්පුත් සත් කෝරළේ යුව රජු ලෙස ගොංගාලේගොඩ බණ්ඩාගේ මළනුවනුත් පත් කර රාජාණ්ඩුවක පෙනුමක් සහිත නායකත්වයක් හැදුවේ යටත්වැසි මානසිකත්වයට එවැන්නක් අවශ්‍ය හෙයිනි.

ඉන්පසු අපි බ්‍රිතාන්‍යය කිරීටය යටතේ විසූ නමුත් සිංහල රජෙකු ලබා ගැනීමේ වැඩවසම් මානසිකත්වයෙන් නොගැලවුනි. යටත් විජිත යුගයේ සිදුවූ සියලු සංස්කෘතික හා වාණිජ වෙනස්කම් සමග අලුත් ආකල්ප හා වටිනාකම් එකතුවූ පසුවද අපි මූලික වෙනසකට නොගියෙමු. 1931 දී සර්වජන ඡන්ද අයිතිය ලබා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට මුල පුරා අවුරුදු 17 ට පසුව නිදහස ලබන විටද අප රජෙකු පිළිබඳ අදහස අත හැරියේ නැත. ඩී. එස්. සේනානායක “ජාතියේ පියා” වන්නේද ඒ මානසිකත්වයේම තවත් ප්‍රකාශයක් හැටියට ය. නිදහස් ලංකාවක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳීමේ අලුත් සමාජ සම්ප්‍රදායන් සමග වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හැදුණු, සාමුහිකව තීන්දු ගැනීමේ අත්තැකීම් ලැබූ පරම්පරා දෙක තුනක් මාරු වූ පසුවත් අප සිංහල රජෙකු ගැන අදහස අත හැරියේ නැත.    

කුංකුණාවේ හාමුදුරුවෝ එදා සිරගතව සිටියදී රජෙකු ගැන ලියූ කවිය තවමත් අප ඉතා ඉහළින්  පිළිගන්නේ එනිසාය. “අනේ කූඹින්නේ, තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ” යැයි උන්වහන්සේ ලියූ කවිය, නන්දා මාලනි ගීතයකට නගන්නේ එයට ඒ වනවිටද සිංහල බෞද්ධ සමාජයේ වෙළඳ පලක් තිබූයෙනි. ඇය ඒ ගීතය ගයන්නේ ඇය විසින් “තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්” යැයි ජාතිවාදී ගීතය උතුරු නැගෙනහිර යුද්ධය වෙනුවෙන් ගැයීමෙන් පසුවය. ඒ වනවිට මහාචාර්ය නලින් ද සිල්වා සහ දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර දෙපළ විසින් “ජාතික චින්තනය” යැයි සිංහල-බෞද්ධ මතවාදයක් සිංහල සමාජයේ ප්‍රධාන ධාරාවට ගෙනවිත් තිබිණ. එවැනි සිංහල බෞද්ධ මතවාදයක් සමග රජ කෙනෙකු වෙනුවෙන් බලාපොරොත්තු පොදි බඳින කුංකුනාවේ හාමුදරුවන්ගේ කවිය නන්දා මාලනීට වෙළඳපල අලෙවිය සඳහා ගයන්නට හැකි වූයේ මේ සමාජයේ පසුගාමිත්වය නිසා පමණය.  

නන්දා මාලනියගේ ගීතයෙන් තවත් දසක 03 ට පමණ පසු ඒ කවියේ දෙවන කොටස, “රජෙක් ලැබුනෝතින්, කැවුම් කිරිබත් කඤ්ඤම්, පෙරහැර කරඤ්ඤම්, සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්” යන්න, විශේෂඥ වෛද්‍යවරියක් විසින් “වියත්මග” හමුවකදී උපුටා කියුවේද ඒ “යටත් වැසි” මානසිකත්වය උගත්කම් විසින් හා කාලය විසින් මේ සිංහල බෞද්ධ සමාජයෙන් මකා දමා නොමැති බැව් ප්‍රදර්ශනය කරමිනි. ඒ පසුගාමිත්වයෙහි ඇය තනි නැත. “රජු දැහැමි නම්, නිසි කලට වැසි” ලැබෙන්නේ යැයි තවමත් සිංහල බෞද්ධයෝ විශ්වාස කරති. “මහරජානෝ” යැයි ගීත ලියන්නේත් ගයන්නෙත් ඒ ගීත ජනප්‍රිය ගීත වන්නෙත් ඒ “යටත් වැසි” මානසිකත්වය හේතුවෙනි.    

මේ පසුගාමි මානසිකත්වය නිසාවෙන් අප මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරුන් තෝරා පත් කර ගන්නේ ජාතික සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සකසා රට පාලනය කිරීමට නොවේ. අප ඔවුන් තෝරා පත්කර ගන්නේ දුවගෙ මඟුලට අත්සන් කරන්නට, අම්මගෙ අවමඟුලට සහභාගි වන්නට, දරුවා ජාතික පාසලට ඇතුළත්කර ගන්නට, පුතාට දුවට පත්වීමක් ගන්නට, නෝනගෙ ස්ථාන මාරුව හදාගන්නට, තමන්ට උසස්වීමක් ගන්නට, (දැනට අහෝසිකර ඇති) වැලි පර්මිට් හදා ගන්නට, පාරේ කොන්තරාත්තුව ලබා ගන්නට වැනි අතිශය පෞද්ගලික කාරණා ඉටුකර ගැනීමට ය. ඒ අතරට මුල්ගල් තැබීම්, ගොඩනැගිලි විවෘත කිරීම්ද ඇත.  

මේ කතාව කෙටි කරන්නට මාගේ පෞද්ගලික අත්දැකීමක් ලියමි. මීට වසර 15 ට පමණ පෙර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයේ තරුණ පිරිසක් ඉරිදා දිනක උදය වරුවේ පැමිණ ඉතා අවිනීත ලෙස ගේට්ටුවෙහි සීනුව නාද කරන්නට විය. එනිසා යම් නුරුස්නාවකින් ගේට්ටුව වෙත ගිය මට, පත්‍රිකා කිහිපයක් දිගු කර “අපේ සර්ට ඡන්දෙ දෙන්න හොඳේ” යැයි නියෝගයක ස්වරූපයෙන් කීහ. ඒ අපේක්ෂකයා ඒ වනවිට මිනී මැරුම් චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටියෙකි. “මෙයාට ඡන්දෙ දෙන්න? මීට වඩා වැදගත් අය ලැයිස්තුවෙ ඉන්නවානෙ ඡන්දෙ දෙන්න” යැයි මම කීවෙමි. “අපේ සර්ට වැඩිය වැඩකාරයෝ මොක්කුද?” යැයි එකෙකු ඇසූවේ රණ්ඩුවකට මෙනි. එවිට එම ලැයිස්තුවේ උන් යම් ඉගෙනුමක් ලබා තිබූ දෙදෙනකුගේ නම් මම කීවෙමි. “අපෝ උන්ද? වැඩක් කර ගන්න බැරි උන්....ගියාම ලියුමක් දේවි...ඒවට වැඩ කෙරෙන්නෙ නැහැ.....අපේ සර් එහෙම නැහැ. ටෙලිෆෝන් එක ගත්තා. කුණුහරුපෙන් බැන්නා. වැඬේ ගොඩ.”   

මේ ඉල්ලන්නේ බලහත්කාර බලයකි. එය නාගරික මැද පංතිය අර්ථ ගන්වා ගන්නේ විනය, කාර්යක්ෂමතාව හා සංවර්ධන අවශ්‍යතාවක් ලෙසින්ය. එසේ ඉදිරිපත් කළ විට එයට යම් ශීලාචාර වැදගත් පෙනුමක් ලැබෙන්නේය. කවර අර්ථකතනයක් සමග වූවත් අප තවමත් බලාපොරොත්තු වන්නේ රජෙකු වැනි නායකයෙකු පැමිණ අපේ එදිනෙදා ප්‍රශ්න හා වුවමනාවන් ඔහුගේ (ඇය ගැන කතාවක් නැත) නියෝග හා බලය සමග විසඳා දෙනු ඇතැයි කියා ය. මේ නූතන ලෝකයේ රාජ්‍ය යාන්ත්‍රණය හා බලය ව්‍යුහගතකර ඇත්තේ සියවස් ගණනාවක සමාජ අත්දැකීම් හා දැනුම මත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් වෙනුවෙනි. තනි පුද්ගලයෙකුට ඒ ආණ්ඩු පාලනය ක්ෂුද්‍ර කලමනාකරණයෙන් ආදේශ කළ නොහැක. පළමු වරට අපේ රටේ ක්ෂුද්‍ර කලමනාකරණයෙන් ආණ්ඩු පාලනය කිරීමට විධායක බලයත් සමග උත්සාහ කෙරුවේ ජනාධිපති ප්‍රේමදාස ය. ඔහු ඒ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් “ජනාධිපති ජනහමු” පැවැත් වීය. ඔහු අසාර්ථක විය.

විධායක බලයද අත තිබූ ප්‍රේමදාස ජනාධිපතිගේ අසාර්ථකත්වය නොතකා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයෙකුට ප්‍රශ්න සියල්ල තනිව විසඳිය හැකි යැයි සිතන්නේ නම්, ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සමග පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීමට ජනතාව බදු ගෙවන්නේ ඇයිද යන්න අප ඇසිය යුත්තකි. එළෙසින් ප්‍රශ්න විසඳිය හැකි නම් මේ අතිශය වියදම්කාරී රාජ්‍ය ආයතන, සංවිධාන හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ අහෝසි කළ හැකිය. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් මග හැර සමාජයකට පැවතිය නොහැක. ප්‍රේමදාස ජනාධිපති පූර්ණ විධායක බලය ඇතිවත් අසාර්ථක වූයේ එබැවිනි.    

ඒ ගැනද කෙටියෙන් කිව හැකි කතාවක් ඇත. මගේ මතකය නිවැරදි නම්, මාතර ජනාධිපති ජනහමුව පැවතියේ 1992 දීය. අහිංසක දුප්පත් ජනතාව ඔහු ගැන තැබූ අපමණ විශ්වාසය සමග දහස් ගණනින් එදින ඔහු හමුවී තම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පෝලිම් ගැසුණහ. දේශපාලන හේතු මත “ජනසවි” ප්‍රතිලාභ අහිමි කරනු ලැබූ දුප්පත් ගෘහ මූලිකයෙකු ඔහුගේ සියලු විස්තර සමග ජනසවිය ලබා දෙන මෙන් ඉල්ලා ජනාධිපති ප්‍රේමදාස අත අභියාචනයක් තැබුවේය. එහි තිබූ තොරතුරු අනුව මේ පවුලට ජනසවිය ලබා දිය යුතුයැයි තීන්දු කළ ජනාධිපති ප්‍රේමදාස අභියාචනයෙහි සටහනක්ද තබා දිස්ත්‍රික් ලේකම් කැඳවා ඔහුට එය බාර දුනි. මාසයකට පසුද ජනසවි ප්‍රතිලාභ නොලැබුණෙන් මේ පුද්ගලයා මාතර දිස්ත්‍රික් ලේකම් හමුවීමට ගිය විට, ඔහුව විෂය භාර නිලධාරි වෙත යොමු කරනු ලැබිණ. එහිදී ඔහුට ලැබුණ පිළිතුර වූයේ ඔහුගේ අභියාචනය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට යොමු කර ඇති බවත් එය ලැබුණු විගස ඒ අනුව පියවර ගන්නා බවත් ය. ඔහුගේ පවුලට “වහා ජනසවිය ලබා දීමට කටයුතු කරන මෙන්” වූ ජනාධිපති නියෝගයට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට ජනාධිපති ජනහමුවෙන් පසු කිසිවකු නොවීය. එය ජනාධිපති ප්‍රේමදාසට කළ හැක්කක්ද නොවුනි.

එනිසා අප සෙවිය යුත්තේත් හැදිය යුත්තේත් රාජ්‍ය යාන්ත්‍රණය මග හැරීමේ නොව, කාර්යක්ෂම කිරීමේ පිළිවෙතකි. අමාත්‍යාංශ ලේකම්ගේ සිට ග්‍රාම සේවා නිලධාරි දක්වා සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම කාර්යක්ෂම කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකි. එසේ නොවන හැම තැනක්ම ජනතාවට ප්‍රශ්න කළ හැකි පාලන පිළිවෙතකි. එවැන්නක් වෙනුවට ඒ වගකීම තනි පුද්ගලයෙකුට කොන්තරාත් දී තම සමාජ වගකීමෙන් ඉවත්වී තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට සිතීමම ආත්මාර්ථකාමී අසාර්ථක පැවැත්මකි. 2020 දී හෝ අප එසේ නොවිය යුතුය.