බදු සහන පැකේජය අද සිට ක්‍රියාත්මකයි


නව රජය ජනතාවට ලබා දුන් බදු සහන පැකේජය අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන බව  අමාත්‍ය  බන්දුල ගුණවර්ධන  පවසයි.

ඒ අනුව වක්‍ර බදු අද (01) දිනයේ සිටත් සෘජු බදු එළඹෙන ජනවාරි මස පළමු වනදා සිටත් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදන මුදල් අමාත්‍යංශය අද දින නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ ලංකා ඉතිහාසයේ කිසිම රජයක් අනුගමනය නොකළ ඉතාම පීඩාකාරී, මූලධර්ම වලට පටහැනි බදු ප්‍රතිත්පත්තියක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කර තිබූ බවයි.

එහෙත් මෙම බදු පීඩනය අඩු කිරීම තුළින් ව්‍යාපාරික අංශ වලට ලබන වසරේදී තව තවත් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත විය හැකි බවද ජාතික ආරක්ෂාව තහවුරු කර ආර්ථිකයේ පිබිදීම තුලින් සහ ව්‍යවසායකයින්ට අසාමාන්‍ය බදු සහන ලබා දීම තුළින් 2020 ආර්ථික වර්ධන වේගය 6% දක්වා ඉහළ නගිනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම බදු පදනම පුළුල් වීම තුළින් බදු ආදායමද ඉහළ යනු ඇත.

ඉදිරි මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආයෝජන ප්‍රවර්ධන බදු මුක්ති පැකේජය නමින් දේශිය ව්‍යවසායකයින්ට සහන සළසන බදු පැකේජයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය. 

 ලබා දුන් බදු සහන මෙසේයි.

ගෘහස්ත නිෂ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි

ආර්ථික සේවා ගාස්තු අහෝසියි

බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

උපයන විට ගෙවන බදු අහෝසියි

පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

ණය සේවා බදු අහෝසියි

ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි

වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්