MCC ගැන අවලාද ඇයි?

MCC යනු ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් බව මොරොක්කෝ, ජෝර්ජියා, නේපාලය, ඉන්දුනිසීයාව, මලාවී, ආදී බොහෝ රටවල් ඔප්පුකොට ඇත. MCC පළමු ආධාරය ඉතාම සාර්ථකව ලබාගෙන ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ලැබූ ඉන්දුනීසියාව තමන්ට යළිත් එවැනි ආධාර මුදලක් ලබාදෙන ලෙස MCC ආයතනයෙන් ඉල්ලා ඇත. 

කතුවැකිය 

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අනුමත කරනු ලැබූ MCC සහනාධාරය ගැන විවිධාකාර අපවාද පැතිරෙමින් තිබේ. දේශප්‍රේමී වෙස්මුහුණ දා ගෙන සිටින ව්‍යාජ අවස්ථාවාදී දේශපාලඥයින්ගේ සිට තම පටු දේශපාලාන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කළහැකි ඕනෑම කැත වැඩක් කිරීමට බලාපොරොත්තු වන රටටම හූනියමක් වී ඇති ඇතැම්  ටියුෂන් ගුරුවරුන් දක්වා වූ සියලුම දෙනා MCC ගැන අපවාද රාශියක් එල්ලකොට ඇත. අත්සන් කිරීමට බලාපොරොත්තු වන අදාළ ගිවිසුමේ පිටපතක් ආණ්ඩුව විසින්  මාධ්‍යයට නිකුත් කොට තිබේ. මෙම ගිවිසුම ගැන පැහැදිළිව අවබෝධ කර ගැනීමට නම් එය කියවීම අත්‍යවශ්‍යය වේ. 

MCC යනු ශ්‍රී ලංකා ආණ්ඩුව මීට වසර කිහිපයකට පෙර ඉල්ලා සිටි මුදලකි. එවැනි ඉල්ලීමක් කළ පසු ඊට අවශ්‍යය සුදුසුකම් සපුරා ඇත්තේද යන්න එම මුදල් ලබාදෙන රාජ්‍යය හෝ ආයතනය විසින් සොයා බලනු ලැබේ. එහි පියවරක් ලෙස වසර කිහිපයක් තිස්සේ කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස MCC ආයතනයෙන් ලබා දෙන ආධාර සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත.  මෙය ජයග්‍රහණයකි. 

හොං කොං පොදු ප්‍රවාහන සේවය. MCC ව්‍යාපෘතියේ අරමුණ මෙවැනි තාක්ෂණයෙන් යුතු රාජ්‍යය සහ පෞද්ගලික අංශයෙන් සැදුම්ලත් පොදු ප්‍රවාහන සේවයක් මෙරට ඇති කිරීමය. එය වැරදිද? 


MCC යනු ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් බව මොරොක්කෝ, ජෝර්ජියා, නේපාලය, ඉන්දුනිසීයාව, මලාවී, ආදී බොහෝ රටවල් ඔප්පුකොට ඇත. MCC පළමු ආධාරය ඉතාම සාර්ථකව ලබාගෙන ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ලැබූ ඉන්දුනීසියාව තමන්ට යළිත් එවැනි ආධාර මුදලක් ලබාදෙන ලෙස MCC ආයතනයෙන් ඉල්ලා ඇත.   නමුත්, දූෂිත පරිපාලකයින් විදෙස් රටවලින් මහජනයාගේ දියුණුව උදෙසා ලබා දෙන ආධාර මුදල් හොරා කෑම හේතුවෙන් MCC තම ව්‍යාපෘති අවසන් කරනු ලැබූ අවස්ථාද ඇත. එම අවසන් කළ අවස්ථා වලට හේතු ඉතාම පැහැදිළිව ප්‍රසිද්ධ කොට ඇති අතර ඕනෑම අයෙකුට එම තොරතුරු පරිශීලනය කිරීමට හැකිය. 

මෙම මූලික ඇත්ත කිසියම් හෝ පටු අරමුණක් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් විකෘති කොට MCC යනු රට ගිල ගැනීමට පැමිණි බිල්ලෙක් ලෙස හඳුන්වා ඇත. මේ රට මෙතරම් අවාසනාවන්ත වී ඇත්තේ අවස්තාවාදීන්ගේ බොරු සෑම විටම මේ මහ ජාතියේ මොළය ශෝධනය කිරීමට සමත්වී ඇති හෙයිණි. මෙය ඉතාම අවාසනාවන්ත තත්වයකි. තමන්ගේ ආදායමට වඩා විශාල වත්කමක් උපයාගත් දේශප්‍රේමීන් මෙවැනි අවස්ථා වලට එරෙහි වන්නේ දුප්පත්කම එලෙසම පවත්වා ගෙන යෑම ඔවුහුට වාසි වන හෙයිණි. ජනතාව අඳුරේ තබන තාක් දුරට ඔවුහුට ගමන් කළයුතු නිවැරදි මාර්ගය නෙපෙනෙන අතර දේශප්‍රේමී සළුවෙන් වෙස්වලාගෙන සිටින හාදයින්ගේ ගොදුරුවලට සෑමවිටම හසුවේ. 

එසේම ගිවිසුමේ පිටපතක් ප්‍රසිද්ධ කිරීමෙන් පසුද මෙම බොරුකාරයින් එලෙසම හැසිරෙති. එක්කෝ මොවුන්ට ඉංග්‍රීසි බාසාව තේරෙන්නේ නැත. නැතහොත්, තම පටු දේශපලාන වාසි ලබා ගැනීම සඳහා MCC මෙවලමක් කරගෙන ඇත. අවසානයේ සිදුවන්නේ, රටේ ජනතාවගේ ජන ජීවිතය පහසු කිරීම සඳහා ලබා දෙන ආධාරයක් රටට නැතිවීම පමණි. 

අපට උදව් අවශ්‍යය නැද්ද? පොලියට මුදල් ලබා දීමට බැංකු සහ රාජ්‍යයන් ඉදිරිපත් වූ පමණින් අපට ඇති ගැටලු විසඳා ගැනීමට හැකිද? අපි සියල්ලෝම අපේ හදවතට කතාකළහොත් අපේ තත්වය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. මේ නිසා MCC ගැන හරි අවබෝධයක් ලබාගැනීම සහ එය ජනගත කරීම වැදගත් වේ. 

මන්ද, බොරුවලින් මුලාවේ හෙළනු ලැබූ ජාතියකට අත්වන ඉරණම අද අපි අත්විඳින්නෙමු. බොරු කියූ සියල්ල එක්කෝ මළවුන් අතරය. නැතහොත් වෙනත් බටහිර රටක පුරවැසියෙකි. අපි, අපේ පරම්පරා පිටින් ඒ මහත්වරුන්ට බාරදිය  ඇද්දෙමු.  අඩුම වශයෙන් දැන්වත්, මේ රට මින්සුන්ට ජීවත් වීමට හැකි, සහ මිනිසුන්ට හැර යෑමට නොසිතෙන රාජ්‍යයක් බවට පත්කළ යුතුය. 

MCC ආධාරය ඉලක්ක කර තිබෙන්නේ මූලික කාරණා දෙකක්  මතය. පළමුවැන්න මෙරට බස්රථ ගමනා ගමනයේ ඇති දුර්වල තැන් විසඳීමටය. දෙවැන්න රටේ ඉලක්ක කරගත් දිස්ත්‍රික්ක එනම් එම බස්රථ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශහී පිහිටි ඉඩම් වල ඇති අයිතීන් ගැන පැහැදිළි ක්‍රමවේදයක් සකස් කිරීමය. මෙම සම්පූර්ණ  ව්‍යාපෘතිය රාජ්‍යය දෙපාර්තමේන්තු වල මැදිහත්වීමෙන් සිදුකරනු ලබයි. මේ නිසා ව්‍යාජ ප්‍රචාර නොකොට මේ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. 

මෙහිදී මතුකරන බොහෝ කාරණා තිබේ. එනම්, මෙය ආධාර මුදලක් නම් කොන්දේසී දමා ඇත්තේ ඇයිද යැයි ඇතැමුන් අසති. මෙය තේරුම් ගැනීම ඉතාම පහසුය. ආධාර කොන්දේසී නොමැතිව ලැබුණු අවස්ථා තිබේ. නමුත් ඒවායෙන් බොහෝමයක් හොරා කෑ අතර, ආධාර ලබා දුන් රටවල අපේක්ෂාවන් ඉටු වූයේ නැත. ඊට කදිම උදාහරණය සුනාමි අවස්ථාවේ ඇති කළ හෙල්පින් හම්බන්තොට ව්‍යාපෘතියය. මෙවැනි අවස්ථා ගනණාවක් හේතුවෙන් අපේ රටේ සිටින දේශපාලන බලය ඇතිඅය, ඔවුහු කෙතරම් අවංකද යන්න ලෝකයටම ඔප්පු කරනු ලැබීය.  මෙවැනි හේතු නිසා, ආධාර ලබා දෙන රාජ්‍යය විසින්  ආධාර ලබාගන්නා රාජ්‍යය සෑම විටම වගවීමට නතු කරනු ලබයි. මන්ද, මෙම මුදල් යනු එම රටවල ජනතාවගේ බදු මුදල් වලින් එකතු කරනු ලැබූ ඒවාය. 

MCC ගැන නිවැරදිව දැනගන්න එය සම්පූර්ණයෙන්ම කියවන්න. ඉන් පසු වාද විවාද කරන්න. එවිට මෙවැනි ගිවිසුම් වල ඇති සැබෑ තත්වය සහ ඒවා රටට කරන හිතකර හෝ අහිතකර බලපෑම ගැන අවබෝධයක් ලැබෙනු ඇත. එය අප වෙලී සිටින මුලාවෙන් මිදීමට ඇති එකම මාර්ගය වේ.