උතුරේ මාර්ග සංවර්ධනයට රු.මි. 51,000 ක්


උතුරු පළාතේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 51,000 ක් ආයෝජනය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති පැවසීය.

වසර තිහකට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ දැඩි හානි සිදුවී ඇති අභ්‍යන්තර මාර්ග සංවර්ධනය සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මාර්ග පැකේජ 17 ක් යටතේ අදාළ ප්‍රතිසංස්කරණ සිදු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහයෝගිතාවය මත ඉහළ පෙළේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස මෙම මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක ය. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් මාර්ග පැකේජ 05 ක් යටතේ මාර්ග 128 ක් කිලෝ මීටර් 273.24 ක රුපියල් මිලියන 15,000 ක මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට අයත් සෙට්ටියාර්මඩම්-චන්කානෙයි-පිරම්පත්තෙයි මාර්ගය (කි.මි 6.58) පන්නලෙයි - කීරමලෙයි මාර්ගය (කි.මී 4.12) එලලාන් - කඩුවාන් මාර්ගය (කි.මී 2.69) යන මාර්ග 03 හි වැඩකටයුතු ආරම්භ කළ බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගයන් සංවර්ධනය කිරීමේ කටයුතු සදහා එම ආයතනවල උපරිම සහයෝගය හිමිවන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති වැඩිදුරටත් පැවසීය.





'වැඩි විස්තර' වෙබ් අඩවියෙනි