දීගොඩ කුමාරලා බිහිවන්නේ වෛද්‍යවරුන්ගේ සන්නිවේදන ඌනතා නිසා ?




 - වෛද්‍ය රුවන් එම් ජයතුංග -



 'මිහිර' පත්තරේට චිත්‍ර හා ළමා කතා ලියූ දීගොඩ කුමාර 


දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය.

පාසල වෙත මම යන විට
කකුල කැඩුනි කළු ගලකට
යන්ට බැරුව සිටින කලට
ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට

එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර  විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම ආරම්භ කොට තිබේ. 

ඉතා පහසුවෙන් මුලා කල හැකි ශ්‍රී ලාංකික ජනතාව මෙම විශ්ව ශක්ති මගින් , එලොවින්  ආ ජීවකයන් මගින් ලෙඩ සුව කිරීම විශ්වාස කරති. මේ නිසා කපටි ජාවාරම්කරුවෝ  ඕනෑම ලෙඩක් සුව කරන ජීවකයෝ බවට පත් වෙති. ඔවුන්ට ප්‍රචාරය ලබා දීමට සහ සෙනඟ ඇද්දවීමට සඳහා තවත් කොටසක් සිටිති. මොවුන් අනියම් ලෙස අදාල වෙදාගෙන් යැපෙන්නෝය.




 
 (තමන්ව සාධාරණීකරණය කරමින්) 


  භින්නෝන්මාදී ලක්ෂණ

තවත් සමහරක් භින්නෝන්මාද (schizophrenia)  ලක්‍ෂණ නිසාද තමන්ට විශ්ව ශක්තියක් තිබෙන බව කියා ලෙඩුන් සුව කිරීමට යති. මනෝ ප්‍රතිකාර අවශ්‍ය කෙරෙන මෙම හඳුනා නොගත් රෝගීන්ට මෝඩ ජනතාව විසින් අනේක ගරු බුහුමන් කරමින් ඔවුන් ගේ විකාර ප්‍රතිකාර ලබා ගනිති. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ඩිලියුෂන් හෙවත් මෝහ තත්වයෙන් පෙලෙන කාන්තාවක් විසින් රාජකීය විද්‍යාලයේ සිසුන්ට දේව කැඳ වසර ගනනාවක් පුරා පෙවීමය. එය හිටපු විදුහල්පතිවරයාටද එම කාන්තාවටද වටේ සිටි හෙන් චයියන්ටද රන් ඉල්ලමක් විය. 

මීට වසර ගණනාවකට ඉහතදී එලොවින් ආ ජීවකයෙකු නන්දසේන සූරිය ආරච්චි නම් මාධ්‍යවේදියෙකුට ගෙවීම් කරමින් විශාල සුව මෙහෙයක් පැවැත්වීය. මම ඔහුට ලක්බිම පුවත්පත හරහා 2007  වසරේ අභියෝග කිරීමෙන් පසු ඔහු තාවකාලිකව මේ ව්‍යාපාරය නවතා දැම්මේය.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුවකළ හැකිද ? 

විශ්ව ශක්ති යනාදී සුව මෙහෙයුම් මගින් රෝගීන් සුව කල හැකිද ? මගේ අදහස නම් මෙහි තිබෙන ඇණවුම් චිකිත්සාව නිසා විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන් සුවය ලබති. නමුත් බරපතල මාරාන්තික රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර නවත්වා සුව මෙහෙයුම් කිරීම මගින් මරණය ලඟා කර ගත හැකිය. 

විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන්ට   මනෝ ප්‍රතිකාර ලබා දීමේන් විඝටන තත්වය නිසි පරිදි  සුව කල හැකිය. මෙවැනි යාඥා , විශ්ව ශක්ති ප්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ යටපත් වනවා මිස විඝටන ආබාධය සහමුලින් සුව වන්නේ නැත.

ලංකාවේ වෛද්‍යවරුන්ගේ සන්නිවේදනය දුර්වලයි

මිනිසුන් බොහෝ දෙනෙකු මෙම විශ්ව ශක්ති සුව මෙහෙයුම් කරා ඇදෙන්නේ ඇයි? මාගේ අදහස නම් ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු තුළ තිබෙන සන්නිවේදන ඌනතාව නිසා රෝගීන් වෛද්‍ය  ප්‍රතිකාර කෙරෙහි  එතරම් විශ්වාසයක් නොතබති. තවද මාධ්‍ය මගින් නොකඩවා මිත්‍යාව සමාජ ගත කරන නිසා ලංකා සමාජය තුල තාර්කික බුද්ධිය යටපත් වී තිබේ. මේ හැර විද්‍යාව ඉගෙන ගත් නමුදු එය කටපාඩමින් මිස තාර්කිකව ඉගෙන නොගත් නිසා විද්‍යා උපාධිධාරීන් පවා මේ ව්‍යාජයන්ට රැවටෙති. මේ පුද්ගලයන් ගේ මොලය විසි වන සියවසේ නමුදු හදවත තවමත් තිබෙන්නේ ගල් යුගයේය. 


 

 (නීතිඥ අනුර හෑගොඩ හොරොව්පොතාන සිද්ධිය සාධාරණීකරණය ඇති අන්දම)


දීගොඩ කුමාර  තමන් ගේ  විශ්ව ශක්ති ප්‍රතිකාර අරඹන්නේ එලොවින් ආ ජීවකයා මෙන් මාධ්‍යවේදීන් අල්ලාගෙන නොව වෛද්‍යවරු කිහිප දෙනක් අල්ලාගෙනය. මින් එක් වෛද්‍යවරයෙකු වූ සංජීව හෙයියන් තුඩුව මා සමග 1985 උසස් පෙළ පන්තියේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකි. වෛද්‍යවරු පවා මෙම විශ්ව ශක්ති ප්‍රතිකාර මුලාසියට  අනුග්‍රහ දක්වන්නේ මුල්‍යම හෝ වෙන යම් වාසියක් තකාද හෝ නැතහොත් තම විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තර්කානුකූලව වටහා ගැනීමට තිබෙන නොහැකියාව නිසාද කියා මම නොදනිමි. 

බොහෝ විශ්ව ශක්තිකරුවන් තම  ව්‍යාපාරය ආරම්භ කරන්නේ මම සල්ලි ගන්නේ නෑ කියමිනි. නමුත් එය පසුපස බොහෝ යටි අරමුණු තිබේ.සමහරක් අරමුණු දේශපාලන බලය ගැනීම සඳහා කෙරෙන වෑයම් ය 

 දේශපාලකයන් ද මෙවැනි ව්‍යාජ සඳහා අනුග්‍රහය දෙති . මයිකල් මුවර් කියූ පරිදි නීරෝගී තාර්කික ශක්තියෙන් හෙබි ජනතාවක් පාළනය කිරීම අපහසුය. එම නිසා ඔවුන්ව මිත්‍යාවේ සහ මුළාවේ නිබඳවම ගැල්විය යුතුය. 







( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි )