''ලංකාව මාලදිවයින් ජනතාවගේ "දෙවැනි ගෙදරයි" - අගමැති


නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බවත් සැමට පොදු වූ තර්ජනයක් වන ගෝලීය ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හමුවී සාකච්ඡා කරන විට පවසා තිබේ. 

නායකයන් දෙපළ මේ ගැන ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකළ අතර එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ  පැවසුවේ, 

''මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉතා ඵලදායී වූ බව සඳහන් කළ යුතුයි. අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරට අතර මෙතෙක් පැවැති සබඳතා තවදුරටත් සමාලෝචනය කරමින් ඉදිරියට යාමට අප අදහස් කරනවා. 

දෙරට අතර විධිමත් සබඳතා වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව ද අප මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකම පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයකයි. එම පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එයින් දෙරටේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. ඒ තුළින් දෙරටේම ආර්ථිය තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. 

මෑත යුගයේ දී අප දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙනවා. නමුත් අප දෙරටටම පොදු වූ ප්‍රශ්න රැසක් තවමත් ඉතිරි වී තිබෙනවා. එම ප්‍රශ්න විසදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර‍ ගණනාවක් පවතින බව කිව යුතුයි.

මාලදවයින් රජය සමග අපගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් ද උදව් උපකාර කිරීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ සේවා රැසක් මාලදිවයින් රජය වෙත ලබා දීම සඳහා අප මෙම සංචාරයේ දී එකඟතාව පළ කරනු ලැබුවා. ඒ අනුව මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. 

එමෙන්ම මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන අතර ඒ සඳහා අවශ්‍ය ආයතනයක් මාලදිවයිනේ පිහිටුවීමටත්, ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් ලබාදීමටත් අප සැලසුම් කරමින් සිටිනවා. එම ආයතනය මගින් මාලදිවයිනේ පුහුණු මානව සම්පත තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව ද සැලසෙන බව කිව යුතුයි. ග්‍රාමීය මට්ටමේ සිටම ක්‍රියාත්මක වන විධිමත් සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. 

එමෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා සම්බන්ධයෙන් පවතින සීමාවන් තවත් ලිහිල් කිරීමටත් අප මේ සංචාරයේ දී තීරණය කරනු ලැබුවා. මේ තීරණයත් සමග මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා වන පහසුකම තව තවත් පුළුල් වන බව කිව යුතුයි. 

ශ්‍රී ලංකාව යනු මාලදිවයින් ජනතාවගේ "දෙවැනි ගෙදරයි". අතීතයේ සිටම එම සබඳතා නොනැසී පවත්වා ගන්නට අපට හැකියාව ලැබුණා. දෙරට අතර අනවශ්‍ය පරිදි වීසා කොන්දේසි පැනවීමට අප කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ. 

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මාලදිවයිනේ රැකියාවල නිරත වෙනවා. එමෙන්ම මාලදියින් ජනතාව ද අධ්‍යාපනය ලැබීම සඳහා මෙන්ම විවිධ රැකියා සඳහා ද ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවශ්‍යතා ලබා ගැනීමේ පහසුකම තවත් පුළුල් කිරීමට අප තීරණය කළා. එමෙන්ම ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ආයතන මාලදිවයිනේ පිහිටුවීම සඳහා පවතින ඉඩකඩ පිළිබඳව ද අප සොයා බලමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිතුමන් ද දැඩි උනන්දුවකින් කටයුතු කරන බව එතුමා සමග පැවැති සාකච්ඡාවේ දී අපට පැහැදිලි වුණා. ඒ අනුව එම කටයුතු ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව මම විශ්වාස කරනවා. 

දෙරට අතර වෙළෙඳ කටයුතු, ආර්ථික සහයෝගීතාව, සමාජීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ද මමත්, මාලදිවයින් ජනාධිපතිතුමාත් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඉතා ඉක්මනින් එම සාකච්ඡාවල ප්‍රගතිය දැක ගැනීම අප දෙදෙනාගේම අරමුණයි. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අසල්වැසි රටක් ලෙස මාලදිවයින අප රජය සමඟ අත්වැල් බැඳ ගත්තා. එම ප්‍රහාරය සිදු වී දින කිහිපයක් ඇතුළත මාලදිවයින් ජනාධිපතිතුමන්ගේ නියෝජිතයෙකු ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ අපට ලබාදුන් සහයෝගය කිසි විටෙක අමතක කළ නොහැකියි. 

මෙම ගෝලීය ත්‍රස්තවාදය අප සැමට පොදු වූ තර්ජනයක් බව සඳහන් කළ යුතුයි. අප එක්ව එම තර්ජනයට මුහුණදිය යුතුව තිබෙනවා. ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද දෙරටටම පොදු වූ තර්ජනයක් වී තිබෙනවා. ඒ සඳහා ද අප එකට එක්ව විසඳුම් සෙවිය යුතු බව මගේ හැඟීමයි.'' යන්නයි. 

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි පැවසුවේ, 

''ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික මෙන්ම සමාජ සබඳතා ලිඛිත ඉතිහාසයටත් වඩා ඈතට දිව යනවා. මාලදිවයිනේ සෞඛ්‍ය, අධ්‍යාපන, තරුණ කටයුතු, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින මේ යුගයේ දී ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව අප මෙහිදී සමාලෝචනයට ලක් කළා. ඒ අනුව ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් සහයෝගීතාවකින් සිදු කිරීමට හැකි වනු ඇති බව මගේ හැඟීමයි. 

ශ්‍රී ලංකාවේ ජනතාව මාලදිවයිනේත්, මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකාවේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් සිටින බව කිව යුතුයි. එම දායකත්වය ඉදිරියටත් තව තවත් වර්ධනය කර ගනිමින් දියුණුව කරා යාම අපගේ අරමුණයි.'' යන්නයි.