''නව සන්ධානය මේ මාසයේදී ගොඩනගනවා'' - අගමැති


එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි සන්ධානය මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව   සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (8) දින පැවති නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කළ දෑ අභිමානි උපහාර උළෙලට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. 

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට නම් අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව පෙන්වා දෙන අගමැතිවරයා සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින්  නව සන්ධානය ගොඩ නගන බවද අවධාරණය කළේය. 


නාගරික සංවර්ධන අධිකාරිය යටතේ  ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කළ ඉදිකිරීම් සමාගම් සහ එහි සේවකයන් ඇගයීම සඳහා මෙම උත්සවය පැවති අතර එහිදී මෙම ව්‍යාපෘති අතරින් හොඳම ව්‍යාපෘති තුනට සම්මාන පිරිනැමීම ද අගමැතිවරයා විසින් සිදු කරන ලදී. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

''හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි. අපි අලූතින් සිතමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවුනොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය කඩා වැටීමට ලක්වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙක් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
  
නව සන්ධානය බිහි කිරීම සඳහා මේ වන විටත් අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා. එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි එම සන්ධානය මේ මස අවසන් වීමට පෙර අපි ගොඩනගනවා. 


මෙහිදි අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක ''කොළඹ පැල්පත්වාසී ජනතාව ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට එවකට පැවති පාලනය ක්‍රියා කළත් වත්මන් ආණ්ඩුව ඒ සියළු ජනතාවට ස්ථිර නිවාස තනා දීමට පියවර ගෙන තිබෙනවා'' 

මෙම අවස්ථාවට  අමාත්‍ය රවි කරුණානායක, ඉරාන් වික්‍රමරත්න හා  පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සුමේධ රත්නායක ඇතුළු පිරිස හා රාජ්‍ය නිළධාරීන් සහභාගී විය