'සුවනාරි' වැඩසටනේ මූලෝපායික සැලැස්ම දියත් වේ


ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදයයි. එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් වන අතර 2018 වසරේදී පමණක් අලුත් රෝග හඳුනාගැනීම් 1,136ක් වාර්තා විය. ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන, පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන තත්වයකි. 

මෙය වනාහි ශ්‍රී ලංකාවේ සියලු සුවනාරි සායනවලදී පරීක්ෂා කරන තත්වයකි. අධි රුධිර පීඩනය, පෝෂණ තත්වය, දියවැඩියාව, පියයුරු අසාමාන්‍යතා, ගැබ්ගෙල අසාමාන්‍යතා, පවුල් සැලසුම් තත්වය, ඔසප් අක්‍රමවත්කම, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආසාදන සහ පූර්ව ආර්තවහරණය හා පශ්චාත් ආර්තවහරණ තත්වයන් සම්බන්ධයෙන් සුවනාරි සායනවලදී සත්කාර කරනු ලැබේ. 

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව පුරා ම ගැබ්ගෙල පිළිකා වළක්වාගැනීම සඳහා වැඩි අවධානයක් සහ සම්පත් යොදවා තිබේ. ගැබ්ගෙල පිළිකා තත්වයන් කාන්තාවන්ගේ ජීවන ගුණයට බලපායි. ඒ අතරට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ද ඇතුළත් වේ. එබැවින්, කාන්තාවන්ගේ සෞඛ්‍ය කාරණා සමග සම්බන්ධ සේවා සංවර්ධනය කිරීම රෝග හා මරණ වැළැක්වීමේ ලා වැදගත් පියවරකි.

සහයෝගී ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව හඳුනාගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA)  සහාය ඇතුව 2019-2023 සුවනාරි සායන සඳහා ජාතික මූලෝපායික සැලැස්ම දියත් කරයි.එම මූලෝපායෙන් අරමුණු කරන්නේ වසර 2023 වන විට, ඉලක්කගත වයස් කාණ්ඩයේ සෑම කාන්තාවක ම, විශේෂයෙන් බොහෝ පසුගාමී ප්‍රජාවන්ගේ කාන්තාවන් පවා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවන්ගේ සහ දීප ව්‍යාප්ත සුවනාරි සායනවල සේවා ලබාගන්නා බව තහවුරු කිරීමයි. 

මෙම මූලෝපායික සැලැස්ම දොරට වඩින්නේ ගැබ් ගෙල පිළිකාවලට එරෙහි සටනේ වැදගත් අවස්ථාවක ය. මානව පැපිලෝමා වයිරසයට එරෙහි එන්නත මගින් ප්‍රාථමික අදියරේදී ම ගැබ්ගෙල පිළිකා වැළැක්විය හැකි බව හා පරීක්ෂණ හරහා ද්විතීයක මට්ටමේදී ද ගැබ්ගෙල පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි බව තාක්ෂණික දියුණුව විසින් හෙළිදරව් කරයි.

මෙම දියත් කිරීම අවස්ථාවේ සභාව අමතමින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසී ය: “මෙම මූලෝපායික සැලැස්මේ අරමුණක් වන්නේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධ සෛල විද්‍යා පරීක්ෂණවල සිට වඩා ඵලදායී පරීක්ෂාවක් වන මානව පැපිලෝමා වයිරසය සම්බන්ධ පරීක්ෂාවන් වෙත යොමුවීමයි. වසර 2017දී, අපි මානව පැපිලෝමා වයිරසයට එරෙහි එන්නත 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයින්ට හඳුන්වාදුන්නෙමු. මෙම එන්නත හා මානව පැපිලෝමා වයිරසය සම්බන්ධ පරීක්ෂා ඔස්සේ ගැබ්ගෙල පිළිකාව රටෙන් තුරන් කිරීමේ හැකියාව ඇති බව අපට විශ්වාසයි.”

විශ්වීය සෞඛ්‍ය ආවරණයේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය: “වැළැක්විය හැකි හේතුවක් මත එක් කාන්තාවක් හෝ මියයනවා නම් එය වැරදි බව අප වටහා ගත යුතුයි. සුවනාරි සායන සඳහා නව මූලෝපායික සැලැස්මක් දියත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක්. කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ව්‍යූහයේ සහ සේවාවන්ගේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට එමගින් අපට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ගුණාත්මක සෞඛ්‍ය සත්කාර භුක්ති විඳීමේ හා තම හැකියාවන් පරිපූර්ණ කරගැනීමේ අවස්ථාව මෙමගින් තහවුරු කරනවා.”

කලුතර දිස්ත්‍රික්කයේ මානව පැපිලෝමා වයිරසය සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ සිදුකිරීමේ නියාමන ව්‍යාපෘතියක් සඳහා 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහයෝගය දැක්වී ය. ශ්‍රී ලාකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සංවර්ධනය කිරීම පිණිස 1996දී සුවනාරි වැඩසටහන ආරම්භ වූ සමයේ සිට ම එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ නියෝජිතායතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එයට සහයෝගය දක්වයි.