‘‘බලය බෙදන්න එජාපය කැපවෙනවා‘‘ - අගමැති



ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් යෝජනා කර ඇති බලය බෙදා ගැනීම හා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යන සංකල්පයන් සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ  අද (15) වෙනිදා යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් පැවසුවේය. 

අග්‍රාමාත්‍යවරයෙක් ගුරුනගර් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින් අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ බහුතර හෝ වේවා, සුළුතර හෝ වේවා ඕනෑම ජනවර්ගයකට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අවකාශය උදාකරලීම තමාගේත්, තම පක්ෂයේත්  අභිප්‍රාය බවය. 

එසේම දෙමළ ජනතාවට සිය එදිනෙදා කටයුතු පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය හිමිවිය යුතු බව තමන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද ඔහු  පෙන්වා දුන්නේය. 

වර්තමානයේ රට තුල පැසොවමින් පවතින සමහර ප්‍රශ්න වලට තිරසර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කළ අගමැතිවරයා ඒ විසදුම් ලබාගැනීම සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. බහුතර බලය ලබාගැනීමට ශක්තියක් වන ලෙස ඔහු  උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.