අද අප විසදාගත යුතු අභියෝගාත්මක ප්‍රශ්නය වන්නේ අපනයන ආර්ථිකයක් ඔස්සේ ලොව හා එක්වී මෙරට උත්සාහයෙන් රට ගොඩගන්නවා ද නැතිනම් හුදකලාවී පසු බසිනවා ද යන්න බවත් අප ක්‍රියා කළ යුත්තේ රජරට හා කෝට්ටේ යුගයේදී මෙන් යළිත් ලෝකයේ අපනයන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීමට බවත් ඊයේ (25) දින තන්තිරිමලේ, පහල මල්වතු ඔය හරස් කොට ඉදිකරන තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
මල්වතු ඔය යනු හුදු ජල ධාරවක් පමණක් නොව සිංහල ශිෂ්ඨාචාරයේ උල්පත හා ලාංකික අනන්‍යතාවයේ වැදගත් කොටසක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් හා ණය ආධාර මත යැපෙන රටක් ලෙස පැවැතීමට ඉඩදිය නොහැකි බවත් ඒ තත්ත්වය වෙනස් කරමින් ශක්තිමත් හා පෝසත් රටක් බවට පත් කරලීමට අප කැපවිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,
''තන්තිරිමලේ මල්වතු ඔයේ ජලය උරුම තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අද මා සමග මේ වේදිකාවට එක්වුණා. මල්වතු ඔය සිංහල ශිෂ්ඨාචාරයේ උල්පත බව කිව යුතුයි. අද මේ මල්වතු ඔය කේන්ද්‍රකරගෙන පදිංචිව සිටින ජනතාව එදා මාන්තොට සිට මල්වතු ඔය දෙපස කෘෂිකාර්මික කටයුතු සඳහා පදිංචි වුණා. ඔවුන් උපතිස්ස ගම, අනුරාධ ගම වැනි අලූත් ගම්මාන ඇති කළා. ඒ අනුව පණ්ඩුකාභය රජතුමා මෙහි පැමිණ අනුරාධ ගම තම අගනුවර බවට පත් කර ගනිමින් කටයුතු කළා.
ඒ යුගයේදී අරාබියේ සිට චීනයට ගමන් කරන නැව් මාන්තොට නැංගුරම් ලෑවා. මල්වතු ඔය මාර්ගයෙන් අනුරාධපුරයට භාණ්ඩ ප්‍රවාහනය සිදුවුණා. එමෙන්ම අනුරාධපුරයේ සිට හොරොව්පතාන ප්‍රදේශයටත් හොරොව්පතානේ සිට යාන් ඔය හරහා තිරියායටත් ඒ භාණ්ඩ ගෙන ගොස් එතැනින් නැව් ගත කළා. මෙලෙස සිදුකළ ප්‍රවාහන කටයුතු පසු කාලීනව අනුරාධපුරය දක්වා බිම් මාර්ගයෙන් සිදු කළා.
මෙලෙස රජරට ආරම්භවීමෙන් පසු පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය තම පාලනය යටතට ගෙන ලෝකයේ වෙළඳ කටයුතු එහි සිට පාලනය කළා.
දේවානම් පියතිස්ස රජතුමා රජවුණා, මිහිදු මහරහතන් වහන්සේ මෙහි වැඩම කළා. එළාර රජු නැති කර දුටුගැමුණු රජතුමා රජ වුණා. මේ අනුව මෙතැනින් සිංහල ශිෂ්ඨාචාරය බිහිවුණු බව සිහිපත් කරන්න කැමැතියි.
සිංහල ශිෂ්ඨාචාරයේ ආරම්භය මේ මල්වතු ඔය බව කිව යුතුයි. ඒ අනුව මෙය ඔයක් පමණක් නොව අපේ ඉතිහාසයේ කොටසක් ලෙස හැදින් විය හැකියි. මහවැලිය, මල්වතු ඔය අපේ ඉතිහාසයේ කොටසක්. එමගින් මේ ප්‍රදේශ පෝෂණය වුණා. යළි වගා කටයුතු ආරම්භ කරමින් විශාල දියුණුවක් ඇති කිරීමේ අරමුණින් මල්වතු ඔය ජලාශය ඇරඹීමට අප තීරණය කළා.
මල්වතු ඔය ජලාශය ඉදිකරන්නට මා ඔබට පොරොන්දුවක් ලබාදුන්නා
මල්වතු ඔය ජලාශය ඉදිකරන බවට 2015 දී මා ඔබට පොරොන්දුවක් ලබාදුන්නා. ඉන්පසු මෙහි පැමිණ තන්තිරිමලේ ස්වාමීන් වහන්සේ සමග මේ ගැන සාකච්ඡා කළා. එම අවස්ථාවට දුමින්ද දිසානායක මැතිතුමා ප්‍රමුඛ දේශපාලනඥයින්, මෙන්ම නිලධාරීන්ද පැමිණියා. නමුත් අවාසනාවකට මෙන් ඒ අවස්ථාවේ දී අපට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි වුණා.
අද අප ආරම්භ කළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමා ප්‍රකාශ කළ පරිදි අනුරාධපුරයට පමණක් නොව වන්නියෙත්, මන්නාරමෙත් ජනතාවට ජලය ලැබෙනවා. මල්වතු ඔයත් යෝද ඇලත් යන දෙකම එකතුවීමෙන් මේ ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සාර්ථකව සිදුකරගෙන යෑමට අවශ්‍ය ජල ප්‍රමාණය තවත් වැඩිවෙනවා.
මල්වතු ඔය ජලාශය මගින් මෙම ප්‍රදේශවලට විශාල සෙතක් සැලසෙන බව කිව යුතුයි. මේ ප්‍රදේශයේ පැවැති ජලය නිසා එදා මුතුන් මිත්තන් විශාල පිරිසක් මෙහි පැමිණ ගොවිතැන් කටයුතු සිදු කළා. ඔවුන්ගෙන් පැවැතෙන අය වෙනුවෙන් අද මල්වතු ඔය ව්‍යාපෘතිය හරහා අප ජලය ලබාදෙනවා.
මල්වතු ඔය හරස් කොට ඉදිකරනු ලබන තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව හැරිසන් ඇමැතිතුමා ඔහුගේ අමාත්‍යංශය භාර ගැනීමත් සමග මා හමුවීමට පැමිණ ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ අනුව අපි භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කළා. නමුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු මේ ව්‍යාපෘතිය කල්දැමීය යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා.
නමුත් අපට අවශ්‍ය වුණේ කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඔබට යහපත් අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් පියවර ගැනීමයි. ඒ අනුව මම හැරිසන් ඇමැතිතුමා සමග සාකච්ඡා කරන අතරතුර භාණ්ඩාගාරය සමග ද නැවත සාකච්ඡා කර පාස්කු ප්‍රහාරය නිසා ආර්ථිකය වැටෙන්න ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා. කෙසේ හෝ මේ වර්ෂය අවසන්වීමට පෙර ආර්ථිකය යළි ශක්තිමත් කරන බව මා පෙන්වා දුන්නා. ඒ අනුව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මල්වතු ඔය ජලාශය ඉදිකිරීම සඳහා වන මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට අපට හැකි වුණා.
පාස්කු ඉරිදා බෝම්බ එල්ලවීම පමණක් නොව තවත් ප්‍රශ්න හා අභියෝග ගණනාවකට පසුගිය වසර කිහිපය තුළ අපට මුහුණදීමට සිදු වුණා. ඒ එකකින්වත් අප පැන ගියේ නැහැ. සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදී ඉදිරියට පැමිණියා.
2015 දී අප රට භාර ගැනීමෙන් පසු රටට ණය මුදලක් ලබා ගත හැකි තත්ත්වයට පත් කර ගැනීමට වසර දෙකක් පමණ ගත වුණා. එම වසර දෙක තුළ ගංවතුර, නියඟය, කුණු කන්ද කඩාවැටීම් වැනි ස්වභාවික විපත් රැසකට මුහුණ පෑවා. එපමණක් නොවෙයි විශ්වාසභංගයකටද මුහුණ දුන්නා.
මේ සියලූ අභියෝග මධ්‍යයේ යාන්තමින් ආර්ථිකය ගොඩගන්න අවස්ථාව වන විට දින 52 කේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කළා. ඒ ව්‍යවස්ථා අර්බුදයෙන් අපට යළි නැගිටීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. නමුත් මාර්තු මාසය වනවිට ආර්ථිකය අපි යළි ගොඩගත්තා. ඒ දියුණුව ඔස්සේ ඉදිරියට පැමිණෙනවිට අප්‍රේල් මාසයේ බෝම්බ පිපිරුණා.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමග ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී රට විනාශ වන බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. ව්‍යාපාරිකයන්ගේ බලාපොරොත්තු නැති කළා. සංචාරක ව්‍යාපාරය වැටුණා. ජනතාව වෙළඳ පොළට පැමිණියේ නැහැ. දරුවන් පාසල්වලට එව්වේ නැහැ. නමුත් ඒ සියල්ලටම අපි මුහුණදී රට ඉදිරියට ගෙන ආ බව සිහිපත් කළ යුතුයි.
පාස්කු බෝම්බ පිපිරීමට අදාළ පිරිස් කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා. ඇතැම් සැක කරුවන්ගෙන් තාමත් ප්‍රශ්න කරගෙන යනවා. මේ ප්‍රහාරය නිසා අපි අපේ වැඩකටයුතු අතපසු කළේ නැහැ. පාසල් යළි විවෘත කළා. වෙසක්, පොසොන් උත්සව මෙන්ම මහනුවර ඇසල පෙරහැරත්, කතරගම පෙරහැරත් ආරක්‍ෂා සහිතව, සාර්ථකව අප පැවැත්වුවා. එම අවස්ථාවන්ට සහභාගීවීමට මටත් අවස්ථාව ලැබුණා. එපමණක් නොවෙයි ආණ්ඩුවේ වැඩකටයුතු මෙන්ම රටේ අනෙකුත් උත්සව පැවැත්වීමට අප ක්‍රියාකළා. එමගින් ජනතාව තුළ තිබුණ බය නැති වුණා.
ආර්ථිකය යථා තත්ත්වයට හැරෙනවා
දැන් ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ වසර අවසන් වන විට යහපත් තත්ත්වයකට රට පත් කර ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
පාස්කු ප්‍රහාරයත් සමග මෙරට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇතැයි ඇතැම් අය කල්පනා කළත් මේ වනවිට සංචාරක ව්‍යාපාරය ද ක්‍රමයෙන් ගොඩගැනීමට අපට හැකි වී තිබෙනවා. සංචාරකයින්ගේ පැමිණීම පිළිබඳව සංචාරක අධිකාරියේ සභාපතිතුමාගෙන් ලැබුණ තොරතුරුවලට අනුව ගිය වසරේ සංචාරකයින් ලක්‍ෂ 23 ක් පැමිණ තිබෙනවා. මේ වසරේ අපේක්‍ෂිත ප්‍රමාණය ලක්‍ෂ 20 වෙනවා.
මෙයින් පෙනී යන්නේ සංචාරකයින් මෙරටට පැමිණීමට තිබුණ බය ක්‍රමයෙන් ඉවත්ව ගොස් ඇති බවයි. බොහෝ රටවලින් මේ වනවිට සංචාරකයින් පැමිණෙන බව කිව යුතුයි. පසුගියදා මෙරට පැමිණි බෝරා ආගමේ නායක පූජක වහන්සේ බැහැදැකීම සඳහා වෙනත් රටවලින් 35000 ක් පමණ මේ වනවිට ලංකාවට පැමිණ සිටිනවා.
අපි තවදුරටත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ නියැලීමෙන් ඵළක් නැහැ
රටේ ආර්ථික දියුණුවත් සමග අපි තවදුරටත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ නියැලී සිටීමෙන් පළක් නැහැ. නවීන කෘෂිකර්මාන්තයට රට යොමු කළ යුතුයි. නවීන දැනුම ලබාදිය යුතුයි. අපනයනයට අපේ කෘෂිකර්මය හැරවිය යුතුයි. එය සිදු කිරීමට තව වසර හය හතක් උවමනයි. ඒ අනුව මේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ කෘෂි ආදායම අඩුම තරමින් අපට 50% කින් වැඩිකර ගත හැකියි.
ශ්‍රී ලංකාව තවමත් හිඟාකන රටක් ලෙස තැබිය නොහැකියි. අපට තවම ණය ලබාගෙන ජීවිත ගැටගසා ගන්නා රටක් ලෙස සිටිය නොහැකියි. හැමදාමත් අපේ විදේශ විනිමය අපට අවශ්‍ය ආනයන සඳහාවත් ප්‍රමාණවත් නැති රටක් ලෙස සිටිය නොහැකියි.
මේ තත්ත්වයෙන් අපේ රට ගොඩ ආ යුතුයි. ඉදිරි වසර පහ තුළ අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙම තත්ත්වයෙන් ගොඩ එනවද නැතිනම් වැටෙනවාද? කියන එකයි. රජ රට රාජධානිය මෙන් අප වෙළඳ ආර්ථිකයක් බවට පත් වෙනවාද, එහෙත් නැත්නම් වැටී සිටිනවාද කියා තීරණය කළ යුතුයි.
රට ජාතිය බේරාගන්නවා කියන්නේ රට ගොඩගැනීමයි
පසුගිය කාලය තුළ තන්තිරිමලේ මෙන් ජලාශ ඉදිකර, සමෘද්ධිය ලබාදී, ගම්පෙරළිය වැනි වැඩසටහන් හඳුන්වා දී රට ඉදිරියට ගෙන යාමට හැකි බව අප පෙන්නුම් කර තිබෙනවා. දැන් අපට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ අපි අපේ උත්සාහයෙන් ගොඩ එනවාද? එසේත් නැතිනම් ලිං මැඩියකු සේ පතුලේ සිටිනවාද? අද අප සාකච්ඡාවට බදුන් කළ යුත්තේ ඒ ප්‍රතිපත්ති හා වැඩසටහන් බව කිව යුතුයි.
රට ජාතිය බේරාගන්නවා කියන්නේ රට ගොඩ ගැනීමයි. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමයි. ලෝකය අපව පිළි ගැනීමයි. එසේ නම් ඒ සඳහා අප මේ ආර්ථිකයෙන් විශාල පිම්මක් ඉදිරියට පැන අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඊට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. එයට සුදුසු විනයක් ඇති කළ යුතුයි. දේශීය ව්‍යාපාරිකයින් ඒකරාශී කරගනිමින් අප මේ ගමන යා යුතුයි.
එදා රජ රට මෙන්ම කෝට්ටේ යුගයේද ඒ වැඩකටයුත්ත සිදු කළා. දැන් නිදහසින් අවුරුදු 70 කට පසු ඉදිරියට යෑමට අපට ශක්තිය තිබෙනවා. මෙරටට නිදහස ලබන විට අපට පිටුපසින් සිටියේ ජපානය පමණයි. නමුත් අද වනවිට ජපානය, සිංගප්පූරුව, කොරියාව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව වැනි රටවල් අපව පසුකරගෙන ගොස් තිබෙනවා. තවදුරටත් අපි පස්සට යනවාද? එසේත් නැතිනම් අපේ උත්සාහයෙන් ඉදිරියට යනවාද? අප හමුවේ තිබෙන සැබෑ ප්‍රශ්නය මෙයයි. රටට ගොඩඒමට හැකි වන්නේ මේ සැබෑ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමෙන් පමණයි.'' යන්නයි.
Post a Comment