ජම්මු කාශ්මීරයේ මාධ්‍ය වාරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි



ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ හිමිකම් සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් ඒක පාක්ෂික තීරණයත් සමග ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුළ මාධ්‍ය වාරණයට ගෙන ඇති පියවර  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  දැඩිව හෙළා දකින බව අද (17) දින නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ,

''මතභේදයට තුඩු දී ඇති ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ හිමිකම් සම්බන්ධයෙන්, අගෝස්තු 04 වන දින ඉන්දීය රජය ගත් ඒක පාක්ෂික තීරණයත් සමගම  ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල මාධ්‍ය වාරණයට ගෙන ඇති පියවර  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  දැඩිව හෙළා දකියි. 

අගෝස්තු මුල සතියේ දි ජනපති රාම් නාත් කෝවින්ත් තමාට ඇති බලතල පාවිචිචි කොට ජම්මු කාශ්මීර ප්‍රාන්ත සවයං පාලනයට අදාළ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 හා 35 ඒ වගන්ති අවලංගු කරන ලදී. මෙම තීරණයට සමගාමිව ඉන්දීය රජය විසින් ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල දුරකථන හා අන්තර්ජාල  පහසුකම් ක්‍රියා විරහිත කළ බවත්, මාධ්‍යවේදීන්, සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් අති විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගනිමින් සිටින  බවත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කොට ඇත. 

මේ වන විට ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල ඇඳිරි නිතීය පනවා අති විශාල සංඛ්‍යාවක ඉන්දීය හමුදා බලඇණි  සථානගත කරමින් එම වැසියන් ගේ ජන ජිවිතය සම්පුර්ණයෙන් අඩාල කොට ඇති බව ද වාර්තාවේ. 

මෙම අර්බුදකාරි අවස්ථාවේ අදහස් ප්‍රකාශනයේ නිදහස හා අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජම්මු කාශ්මීර මාධ්‍යවේදීන් වෙත සිය .සහයෝගිතාව පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කාශ්මීර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටි. 

මාධ්‍යය නිදහස අවහිර කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් ගෙන් වැළකී සිටින ලෙසත්, වහාම මාධ්‍යවේදීන්ට ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර දෙමින් සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජම්මු කාශ්මීර හා ඉන්දීය වැසියන්ට මෙන්ම ජගත් ප්‍රජාවටද  ඇති අයිතියට ගරු කරන ලෙසත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියි.'' යන්නයි.