කොළඹ නගරයේ මාවත් කිහිපයක ‘මෝටර් රථ නැති ඉරිදාවක්’




කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් 'Car-Free Day' (CFD) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. 

‘CarFreeCMB’ වැඩසටහන 2019 ජූලි මස 14 දින පෙරවරු 6 සිට දහවල් 12 දක්වා නිදහස් මාවතේ සිට ග්‍රීන් පාත් දක්වා පැවැත්වේ. පදිකයන් ලෙස හෝ බයිසිකල් සහ ස්කේට් බෝඞ් වැනි, යාන්ත්‍රික නොවන ගමනාගමන ක්‍රම මගින් මෙම වැඩසටහන සඳහා එක්විය හැකි අතර, අදාළ ප්‍රදේශය තුළ ඇවිදීමට, ව්‍යායාම කිරීමට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතී. 

ග්‍රීන් පාත් සිට මහජන පුස්තකාල වටරවුම දක්වා, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතේ කොටසක් සහ නිදහස් මාවත ප්‍රදේශය මෙම වැඩසටහනට ඇතුළත් වේ. එදින රථවාහන පදවන්නන් භාවිතා කළ යුතු විකල්ප මාවත් පැහැදිලිව දැක්වෙන පරිදි සංඥා පුවරු ප්‍රදර්ශනය කෙරෙන අතර ඔවුන්ට ධර්මපාල මාවත, හෝර්ටන් පෙදෙස, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතේ කොටසක්, ස්ටැන්ලි විජේසුන්දර මාවත සහ බෞද්ධාලෝක මාවත භාවිතා කළ හැකි වනු ඇත. කෙසේ වුවද බස්රථ වලට ගැටලුවකින් තොරව සුපුරුදු මාර්ග වල ධාවනය කළ හැකි වේ. 



CarFreeCMB වැඩසටහන සඳහා ඇතුළු වීමේ ගාස්තුවක් අය නොකෙරේ. වැඩසටහනට සහභාගී වන්නන්ට ‘ගුඞ් මාකට්’ පරිශ්‍රය වෙත පැමිණ දේශීය ව්‍යාපාරිකයන්ට අත්වැලක් වීම සඳහා භාණ්ඩ මිලදීගත හැකි අතර ග්‍රීන් පාත් හිදී සංගීතයට සවන්දීමටත්, චිත්‍ර නැරඹීමටත් අවස්ථාව හිමිවනු ඇත. යුනිසෙෆ් සංවිධානය මගින් විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධ කරගෙන, දරුවන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර එහිදී අවශ්‍ය ද්‍රව්‍ය එම සංවිධානය මගින් සපයනු ලැබේ. ව්‍යායාම, යෝග අභ්‍යාස සහ වෙනත් ශරීර සුවතා ක්‍රියාකාරකම්ද සංවිධානය කර ඇත.  

වැඩසටහන පැවැත්වෙනුයේ තිරසාරත්වය අරමුණු කරගෙන බැවින් අදාළ කලාපය තුළ ප්ලාස්ටික් බෝතල් ආදිය භාවිතය සපුරා තගනම් ය. පැමිණෙන අයට සෞඛ්‍ය සම්පන්න ආහාර සහ කාබනික නිෂ්පාදන ලබාගැනීමට හැකිවන පරිදි සංවිධායකයන් විසින් කටයුතු පිළියෙල කර තිබේ. 


මෙම වැඩසටහන කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන, නගරයේ රථවාහන තදබදය අවම කරමින් ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ උත්සාහයක පළමු පියවරයි. “වැඩසටහන පැවැත්වෙන ඉරිදා උදෑසන පටන් අප රථවාහන වෙනත් මාර්ග වලට යොමුකර, ජනතාවට නිදහසේ මේ මාවත් වල ඇවිද යාමේ අවස්ථාව සලසා දෙනවා. මේ සුවිශේෂී අවස්ථාව අත්විඳීමට පැමිණෙන මෙන් සියලු දෙනාටම ආරාධනා කිරීමට මා කැමතියි. දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර ආහාරපාන අලෙවි කුටි කිහිපයක්ද එදින විවෘතව තැබේවි.” කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය පැවසුවා ය. 

“අප මේ උත්සාහ කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ජනතාව පෙළඹවීමටයි. නෙදර්ලන්තය කවදත් ප්‍රධාන නගර වල බයිසිලක් භාවිතය දිරිගන්වන රටක්. මේ වනවිට අපගේ රටේ සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධ සංඛ්‍යාලේඛන වල පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන අතර මාර්ග අනතුරුද අඩුවී තිබෙනවා. CarFreeCMB වැඩසටහන ශ්‍රී ලාංකිකයන්ට තම පවුලේ අය සමග පැමිණ, රථවාහන රහිත මාවත් වල සතුට විඳගන්නට අවස්ථාව ලබාදෙන සුවිශේෂී වැඩසටහනක් වේවි. ඔවුන්ට ප්ලාස්ටික් රහිත මාවතක, පිරිසිදු වාතය ආශ්වාස කරමින් විනෝදාත්මක ක්‍රියාකාරකම් වලට මෙමගින් එක්වීමට අවස්ථාව ලැබෙනවා. මෝටර් රථ වලින් තොර වන මෙම මාවත් වල සුන්දරත්වය දැකබලාගැනීමට මා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්.” ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ජොඈන් ඩූන්වර්ඞ් මහත්මිය පැවසුවා ය. 


'Dutch Cycling Embassy' වාර්තාවකට අනුව නෙදර්ලන්ත වැසියෝ දැන් මෝටර් රථ පදවනවාට වඩා වැඩි වශයෙන් බයිසිකල් පැදීමෙහි නිරත වෙති. එරට රජය විසින් මෝටර් රථ රහිත ප්‍රදේශ හඳුන්වා දීම, නගර මධ්‍යයන්ට රථවාහන ඇතුළු වීම සීමා කිරීම, වඩාත් පුළුල් බයිසිකල් ධාවන තීරු ඉදිකිරීම, නගර සහ මාර්ග සැලසුම් කිරීමේදී බයිසිකල් පැදීමට ප්‍රමුඛත්වයක් ලබාදීම යනාදී පියවර රැසක් ගැනීම මීට මූලික වශයෙන් හේතු වී තිබේ. බයිසිකල් මගින් ලැබෙන ආර්ථික, පාරිසරික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ වලට අමතර එමගින් ජනතාගේ තෘප්තිය සහ ජීවන තත්ත්වයද වර්ධන වන බව හඳුනාගෙන ඇත. මෙය සමාජය වඩාත් සුරක්ෂිත, ප්‍රසන්න සහ සමානාත්මතාව සහිත ස්ථානයක් බවට පත්කරවන සාධකයකි. 

'Car-Free Day' වැඩසටහන් මේ වනවිට රටවල් රැසක නගර රැසක් පුරා පැවැත්වේ. විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම මෙහි මූලික ඉලක්කය වී ඇත. 



පෘථිවිය මත මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජූනි මාසය මෙම වසරේ වාර්තා වූ බව 'Copernicus Climate Change Service' (යුරෝපා සංගමයේ චන්ද්‍රිකා නියෝජිතායතනය) මගින් පෙන්වා දෙන ලදි.  මෙම භයානක තත්ත්වය වෙනස් කරමින් පෘථිවිය ඉදිරියටත් ජීවය පැවතීමට සුදුසු මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම අප සියලුම දෙනා වෙත පැවරී ඇත. ජකර්තා සහ ක්වාලාලම්පූර් ඇතුළුව, ලොව පුරා ප්‍රධාන පෙළේ නගර 200 කට අධික සංඛ්‍යාවක් මාසිකව ඉරිදා දිනවල මේ ආකාරයට මෝටර් රථ රහිත දින සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව එය රටේ ජනතාවටත් සංචාරකයන්ටත් අනාගතයේදී කොළඹ නගරයේ මාවත් වල සුන්දරත්වය වඩාත් නිදහස් ලෙස විඳගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.