අගමැති විශ්වවිද්‍යාල උපකුලපතිවරු හමුවේ


දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ලාංකේය විශ්ව විද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් අද (29) අරලියගහ මන්දිරයේ දී  සාකච්ඡා කළහ.  විශ්ව විද්‍යාල උපකුලපතිවරු 14 දෙනෙක් මේ අවස්ථාවට එක් වී සිටියහ.

විශ්ව විද්‍යාලයීය ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු කිරීම, පශ්චාත් උපාධි පාඨමාලා, ඉංගිරිසි අධ්‍යාපනය, උපකුලපතිවරුන්ගේ කාර්ය භාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

විශ්ව විද්‍යාල තුළ සිදුවන ශාරීරික, මානසික මෙන්ම සයිබර් වද හිංසා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. 

විශ්ව විද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදු කරලීමේ අවකාශ උදාකරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි විශ්ව විද්‍යාලයන්හි හැඩරුව සකස් කරලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ අවස්ථාවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කේ. සී. කේ. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් බී. දිසානායක, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිල් ශාන්ත, කොළඹවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, වයඹවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඊ. එම්. පී. ඒකනායක, රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුජීව අමරසේන, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්. එම්. එම්. නජීම්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙනිය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ඒ. ආරියදුරෙයි, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එෆ්. සී. රගෙල්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ. එල්. රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.