සමෘද්ධිය බෙදාදීමේදී අසාධාරණයට ලක්වූ ඇඹිලිපිටියේ පිරිසක් විරෝධයේ


එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ලැයිස්තුවට සමෘද්ධි ප‍්‍රතිලාභීන් තේරීම මත ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සමෘද්ධි සහනාධාර බෙදා දීමේ අද (03) පැවති උත්සවයෙහි අසාධාරණයට පත් ජනතාව මේ වන විටත් ජල ටැංකිය මත විරෝධය පළකරමින් සිටින බවත් මේ ගැටුම්කාරී තත්ත්වයට ආණ්ඩුව වගකිවයුතු බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරන සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසයි. 

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 
  
''දිවයින පුරා නව පවුල් ලක්ෂ 06 වෙත නව සමෘද්ධි සහනාධාර හිමිකම් ප‍්‍රධානය කිරීමේ උත්සව වලට සමගාමීව ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ සහනාධාර හිමිකම් ප‍්‍රධානය සඳහා අද (03) පැවති උත්සවයේ දී මතු වු ගැටුම්කාරී තත්වයට ආණ්ඩුව වග කිව යුතු බව අප සංගමය මෙයින් අවධාරණය කරමු.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන හිතවතුන් හට සමෘද්ධි සහනාධාර ලබා දීමේ දේශපාලන උවමනාව මත ප‍්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරන ලද සමෘද්ධි සහනාධාර ලබා දීමේ සුදුසුකම්ලත් ප‍්‍රමුඛතා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිය විරෝධය පල කර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ජල ටැංකිය මත නැඟ හා විරෝධය පල කරන අතර සෙසු අසාධාරණයට පත් ජනතාව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයීය භූමියෙහි උද්ඝෝෂණයක මේ වන විටත් නිරත වී සිටිති.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ග‍්‍රාමසේවා වසම් 31 ක පවුල් 6600 ආසන්න පිරිසක් සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු බව ප‍්‍රාදේශීය ලේකම් විසින් අනුමත කර තිබියදී එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයින් විසින් ඔවුන්ට දේශපාලන හිතවත්කම් පවතින පවුල් 2560 ආසන්න පිරිසකට පමණක් සමෘද්ධි සහනාධාරය ලබා දීම මෙම ගැටළුවට හේතු වී ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු රු.මි 300 වියදම් කර ප‍්‍රධාන උත්සව 25 දිස්ත‍්‍රික්ක මට්ටමින් පවත්වා ආණ්ඩුව දේශපාලන පුරාජේරුව කියා පෑවද දිවයින පුරා ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සහනාධාර ලබා දීමේදී ආණ්ඩුවේ නිරුවත මෙයින් මැනවින් පිළිඹිබු වන බවට මෙම සිදු වීම කදිම සාධකයක් බව අප සංගමය මෙයින් දන්වා සිටිමු.'' යන්නයි.