පසුගිය වසර හා සැසඳීමේදී කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 මැයි මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.4% ක  වැඩිවීමක් වාර්තා කරයි. තව ද 2019 සහ 2018 යන වර්ෂවල මැයි මස මෙම දර්ශකය පිළිවෙලින් 106.1 ක් සහ 105.7 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය. 

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2018 මැයි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'විදුලි උපකරණ නිෂ්පාදනය', 'කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන'  සහ 'රසායනික සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය' වල පිළිවෙලින් 19.8%, 17.0% සහ 16.9% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තව ද, 2019 මැයි මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනයේ 5.6% ක වැඩිවීමක් වාර්තා විය

ඍණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 10 අතුරින්, ‘අඟුරු නිෂ්පාදනය සහ ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව', 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටේලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආභරණ නිෂ්පාදන),  සහ ‘දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන' වල 2018 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 43.7%, 36.0% සහ 19.1% ක අඩුවීමක් වාර්තා කරයි.

2019 මැයි මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.