වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිය වත්කම් හා බැරකම් මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්, ඒ තුලින් විවෘත ප්රජාතන්ත්රවාදය උදෙසා සිය කැපවීම පෙන්වා දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක්, මෙම වසරේ පෙබරවාරී මසදී ඒකපාර්ශ්විකව සිය වත්කම් බැරකම් ජනසතු කිරීම සඳහා අත්වැල් බැඳ ගත්හ. ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසා මෙම ඓතිහාසික පියවර ගැනීමට පෙරමුණ ගනු ලැබුවේ තාරක බාලසුරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ සුමන්දිරන්, විදුර වික්‍රමනායක සහ එරාන් වික්‍රමරත්න වේ. ඔවුන් අනුගමනය කරමින්, රංජන් රාමනායක හා අලි සහීර් මවුලානා, පසුව එළඹුණු සතියේදී, සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්හ.
2018/2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ ගොනු කිරීමේ අවසන් දිනය 2019 ජුනි මස 30 වැනිදා වන අතර, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිය වත්කම් බැරකම් ජනසතු කිරීමට මෙම කාල සීමාව යොදාගන්නා මෙන් TISL ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටී.
ජුනි මාසයේදී, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත මේ සම්බන්ධයෙන් යවන ලද ලිපිය මඟින්ද, ඔවුන්ගේ වත්කම් ප්‍රකාශන www.tisrilanka.org/MPassets වෙබ් අඩවියේ පල කිරීමට TISL ආයතනය කැමැත්ත ප්‍රකාශ කල අතරම, පෞද්ගලික වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාලා තුල තමන්ගේ වත්කම් ප්‍රකාශ පල කරන මෙන්ද යෝජනා කරන ලදී.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මෙම තොරතුරු ජනතාව අතට පත් කිරීමට වසර ගණනාවක් පුරාවට දිරිගැන්වීමේ ව්‍යාපරයන්හි නිරතව සිට ඇති අතර, මහජන නියෝජිතයන් වැඩි විවෘතභාවයකින් කටයුතු කිරීම තුලින්, ජනතාව අතර ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය වැඩි වන අතරම මහජන නියෝජිතයන් ජනතාව කෙරෙහි දක්වන වගවීමද තහවුරු වන බව TISL ආයතනය නිරතුරුවම විශ්වාස කරයි. TISL ආයතනය විසින් ඉදිරිපත් කල තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රකාරව, අග්‍රාමාත්‍යවරයාගේ 2015/2016 වසරට අදාල වත්කම් ප්‍රකාශ නිකුත් කරන මෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නිකුත් කරන ලද නියෝගය මඟින් මෙය තවදුරටත් අනුමත විය.
TISL හි විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, "මෙය අපක්ෂපාතී හා දේශපාලනයෙන් බැහැර වූ කාරණයක් වන අතර එහිදී ගාමක බලවේගය වන්නේ, තමන් විසින් තෝරා පත් කරගත් මහජන නියෝජිතයන් කෙරෙහි වැඩි වගවීමක් සඳහා වන මහජන ඉල්ලීමයි. මෙම තොරතුරු සඳහා පුරවැසියන්ට ප්‍රවේශය ලබාදීම වඩාත් විවෘත හා වගවන ප්රජාතන්ත්රවාදයක් ස්ථාපිත කිරීමේ තීරණාත්මක පියවරකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය වඩාත් උසස් මට්ටමකට ගෙන එනු පිණිස තොරතුරු ජනතාව අතට පත් කළ යුතු බව TISL හි දීර්ඝකාලීන ස්ථාවරයයි.”
Post a Comment