ට්‍රාන්ස්පේරන්සි වෙතින් "ඉන්ටග්‍රිටි අයිකන්" දියත් කෙරේ


සුගිය වසරේ ලබා ගත් සාර්ථකත්වයද සමගින්, ඉන්ටග්‍රිටි අයිඩල් වැඩසටහන, "ඉන්ටග්‍රිටි අයිකන්" ලෙස සන්නාම ගත කරමින්, 2019 වසර සඳහාද නවමු මුහුණුවරකින් යුතුව දියත් කිරීමට සුදානම් බව  TISL ආයතනය  සතුටින් දන්වා සිටී. 

ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන, "අක්වුන්ටබිලිටි ලැබ්" නමැති ගෝලීය සංවිධානයේ මුලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ අතර තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින පුද්ගලයන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් අක්වුන්ටබිලිටි ලැබ් ආයතනය ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ "අවංකත්වයේ අභිෂේකය" යන තේමාව යටතේ "ඉන්ටග්‍රිටි අයිඩල් 2018" නමින් මෙම වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. ගෝලීය වශයෙන්ද, අනෙකුත් ජාතීන් අතර විශේෂයෙන් නේපාලය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව හා මෙක්සිකෝව යන රටවලද මෙම වසරේදී ඉන්ටග්‍රිටි වැඩසටහන පවත්වනු ලැබේ. 

තම රාජකාරීමය වගකීම කෙතරම් අභ්‍යන්තර හෝ බාහිර පීඩනය මැද උවද සුපිලිපන්නභාවයෙන් යුතුව ඉටු කරන අවංක රාජ්‍ය නිළධාරීන් හට කීර්තිය හා ප්‍රණාමය පුද කිරීම ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන හරහා මුලික වශයෙන් සිදු කෙරේ. ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන අනෙකුත් එවැනි වැඩසටහන් වලින් වෙනස් වන ප්‍රධානම සාධකය නම්, මහජන සහභාගිත්වයයි. එනම්, ඉන්ටග්‍රිටි අයිකන් ප්‍රණාමය ලැබීමට සුදුසු යැයි මහජනතාව සිතන රාජ්‍ය නිලධාරීන් මේ සඳහා නම් කිරීමටත්, කෙටි ලැයිස්තු ගත කරන ඉන්ටග්‍රිටි අයිකන් 5 අතරින්  ඔවුන්ගේ ප්‍රියතම රාජ්‍ය නිලධාරියා වෙත සිය චන්දය ප්‍රකාශ කිරීමටත් ඉඩ කඩ සලසා ඇත. 

ඉන්ටග්‍රිටි අයිකන් 2019 සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා 2019 ජුලි මස 31 දින දක්වා ඉඩකඩ විවෘත කර ඇත. ඉන්ටග්‍රිටි අයිකන් අත්පොත සහ නාමයෝජනා ඉල්ලුම්පත්‍ර www.integrityicon.lk අපගේ වෙබ් අඩවියට  පිවිසීමෙන් බාගත කර ගැනීමට හෝ 0711295295 අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඉල්ලුම් කල හැකිය. නාමයෝජනා භාරදීමට ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එමෙන්ම ඉන්ටග්‍රිටි අයිකන් පෙර ජයග්‍රාහකයෙකු  වන ලලිත් අම්බන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත වන විනිසුරු මඩුල්ලක් විසින් කෙටි ලැයිස්තුගත ඉන්ටග්‍රිටි අයිකන් පහක් සඳහා අයදුම්පත් සමාලෝචනය කිරීමේ සහ සම්මුඛ සාකච්චා පැවැත්වීමේ කාර්යය ආරම්භ කරනු ඇත. සති දෙකක කෙටි  පණිවුඩ හරහා චන්දය ප්‍රකාශ කිරීමේ කාලයෙන් අනතුරුව, 2019 ඔක්තෝබර් මාසයේදී පවත්වනු ලබන අවසන් මහා දිනුම් ඇදීමෙන් ඉන්ටග්‍රිටි අයිකන් 2019 ජයග්‍රාහකයා නිවේදනය කරනු ලබයි. 

ඉන්ටග්‍රිටි අයිකනය සඳහා, රාජ්‍ය සේවය තුල වසර 5 කට වැඩි සේවා කාලයක් සහිත හෝ විශ්‍රාම ලැබීම සඳහා අවම වශයෙන් වසර 5 ක සේවා කාලයක් ඇති රජයේ ස්ථීර සේවකයෙකු නම් කිරීමේ හැකියාව ඇත. 

පසුගිය වසරේ පැවති ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 23 කින් 300 කට අධික නාම යෝජනා සංඛ්‍යාවක් ලැබී තිබුණු අතර,10,000 කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තඹුත්තේගම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ පී. කරුණාරත්න බණ්ඩාර මහතා ජයග්‍රාහකයා ලෙස තේරී පත් විණි.