අස්ගිරි නාහිමිගේ ප්‍රකාශය දලයි ලාමා හෙළා දකියි


මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසයි. 

බීබීසී වාර්තාකාරිනී රාජිනී වෛද්‍යනාදන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසුවේය. 


'අස්ගිරි මහ නායක හිමි නම සිදුකළ ප්‍රකාශය අනුමත කරනවාද ?' යනුවෙන් විමසූ විට දලයි ලාමා පවසන්නේ, 

‘ඇත්ත වශයෙන්ම, එය වැරදියි. විශේෂයෙන්, ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමට ඇපකැප වී සිටින පුද්ගලයෙකු වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම. 

අප වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළයුතුයි. ආගමික විශ්වාසය හා ගෞරවය අතර වෙනස අප වටහාගත යුතුයි. මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය වී තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත්, මම අන් සියලු සම්ප්‍රදායන්ට සමානව ගරු කරනවා.’ යන්නයි. 


දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමි පැවසුවේ, 

"අහන්නට ලැබුණා අපට ආරංචියක්. අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ. අපි බොහොම සන්තෝෂ වෙනවා."

"මාත් කියනවා ඒ කඩවල්වලට (මුස්ලිම්) යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා."

"ඒ වගේ ම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ." 







බීබීසි ඇසුරිනි