''ෂරියා ආයතනයට අනුමැතිය දෙන්නේ නැහැ'' - අගමැති


නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය. 

හෙට සිට පාසල් එන්න 

රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (21) දින සිට දිවයිනේ සියලූ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස තමන් සියලූම පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කර සිටින බව ද  අගමැතිවරයා මෙහිදී පැවසීය. 

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ අද දින දහවල් අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, 

ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ 

''ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි. 

මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා. 

මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.  

රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා 

මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.

මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා. 

මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (20) දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. 

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පැවසුවේ, 

ෂරියා ආයතනය 2017 දී සිට අධීක්ෂණය කරන්න පටන්ගත්තා 

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ ලේකම්වරුන් දෙපළක් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් ද සමග නිරීක්‍ෂණ චාරිකාවක නියැළුණා. 

ඒ අනුව අප සොයාගත් කරුණු පදනම් කරගෙන අප වාර්තාවක් සකස් කළා. මෙය අධීක්‍ෂණය කිරීම අප ආරම්භ කළේ 2017 වසරේ ජුලි 11 වැනිදා සිටයි. මොකද උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මේ සම්බන්ධව පත් කරන ලද කමිටු වාර්තාව ලැබුණේ ද 2017 ජුලි මාසයේ දීයි. එය පදනම් කරගෙන අධීක්‍ෂණ කටයුතු සිදු කළා. 

මහාචාර්ය රංදිවෙල මහතා ප්‍රමුඛ පස්දනෙකුගෙන් යුත් එම කමිටු වාර්තාවට අනුව මේ සඳහා අයඳුම් පත් යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා හිරා පදනම ලෙසයි. නමුත් එය පසුව මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය ලෙස මාරු වෙනවා. ඒ අනුව තමා මුදල් ලැබිලා තිබෙන්නේ. එවැනි කාරණා රැසක් මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා. 

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව හමුවට මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතා වන හිරාස් හිස්බුල්ලා මහතා කැදවා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසා බැලූවා. ඒ සියලූ කරුණු පදනම් කරගෙන සකස් කළ සම්පූර්ණ වාර්තාව ජුලි පළමු සතියේදී පාර්ලිමේන්තුවට භාරදීමට අප පියවර ගෙන තිබෙනවා. 

අප ඉල්ලා සිටින්නේ මෙම විශ්වවිද්‍යාලය රජයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විය යුතු බවයි. ඒ අනුව මෙය මඩකලපුව තාක්‍ෂණ විශ්වවිද්‍යාලය ලෙස පිහිටු වන ලෙස අප යෝජනා කරනවා.'' යන්නයි.