''උත්තරීතර ආගමික මණ්ඩලයක් අවශ්‍යයි'' - පාඨලී


ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ජනපති, අගමැති  මෙන්ම විපක්ෂ නායකද එක්විය යුතු බවත් උත්තරීතර ආගමික මණ්ඩලයක් අවශ්‍ය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (14) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 'ජාතික මග' මහජන ව්‍යාපාරයේ මංගල සමුළුවට එක්වෙමින් පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 


''නොවැම්බර් මාසේ 30 වෙනිදා මඩකලපුවේ වෙච්ච සිදුවීම, දෙසැම්බර් මාසේ 24- 25 මාවනැල්ලේ වෙච්ච සිදුවීම, ජනවාරි 16 වනාතවිල්ලුවේ අවි ආයුධ හසුවීම, අප්‍රේල් 16 සිදුවීම හඳුනාගත්තා නම් ඒ පිටුපස දේශපාලන අධිෂ්ඨානයක් තිබුණා නම් මේක වළක්වාගන්න තිබුණා. අපි දන්නවා ආරක්ෂක අංශ වැඩකරන හැටි, බුද්ධිමය තොරතුරු තියෙනවා, මෙහෙයුම් අංශය තියෙනවා, දේශපාලන අධිකාරියේ මාර්ගෝපදේශය තියෙනවා. මේ තුන එකට ගමන් නොකිරීම නිසා තමයි මේ අපරාධය සිද්ධ වුණේ, දැන්වත් අපි ඒ පිළිබඳව ක්‍රියාකාරී විය යුතුයි. නමුත්, අපිට පේනවා නොසැලකිල්ල, දේශපාලන චෝදනා, ප්‍රති චෝදනා, 'අනේ අපි දන්නේ නෑ, අපි මේවට වගකියන්නේ නෑ'' කියලා. 

මම බොහොම වගකීමෙන් කියනවා, මේ රජයේ අමාත්‍යවරයෙක් හැටියට, මේ සිද්ධිය මා දැන නොසිටියත්, මම ආරක්ෂක ඇමති නොවුණත්, නීතිය හා සාමය රැකීම මගේ වගකීම නොවුණත්, මම ඇමතිවරයෙක් හැටියට මෙයට වගකියන්න ඕන. ඒ වගකීම අපිට භාරගන්න වෙනවා. ඒ ගැන අපේ කණගාටුවත්, දුකත්, ලැජ්ජාවත් ප්‍රකාශ කරන අතරේ අපි ඒ වගේම කියන්න ඕන අපි පෙරට වඩා දහස් ගුණයකින් අධිෂ්ඨාන කරගෙන තියෙනවා කියලා මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දාන්න'' යන්නයි.