පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත් මාසයක් ගතවීමටත් ප්‍රථම ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට හැකිවී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) දින එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති හමුවේ දී පැවසුවේය.
එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට සන්නිවේදන බලකායේ අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින්, පළාත් අධ්‍යක්‍ෂකවරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් නීති ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර, එම බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
එම සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,
රටේ සාමය ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවට බලය දුන්නා
''ඉරිදා රාත්‍රියේ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා සඳුදා වන විට පාලනය කරමින් නැවතත් රට තුළ සාමාන්‍ය තත්වයක් ඇති කිරීමට මේ වන විට අපට හැකිවී තිබෙනවා. රටේ සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සම්පූර්ණ බලතල අපි ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලබාදුන්නා. ඒ අනුව සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගත් පියවර සහ කළ කැපකිරීම් වෙනුවෙන් මම ඔවුන්ට ස්තඣතිවන්ත වනවා.
රට තුළ මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා ඇති කිරීම හරහා සිදු වන්නේ අයි.එස් ත්‍රස්තවාදය පිළිබඳව සිදු කරමින් පවතින පරීක්‍ෂණ කටයුතු ප්‍රමාදවීමයි. මේ වන විට එම පරීක්‍ෂණ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධිඅංශය විසින් අදාළ තොරතුරු සොයා ගනිමින් පරීක්‍ෂණ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ නොබෝ දිනකින් අවසන් වේවි
එම පරීක්‍ෂණ කටයුතු හරහා රටේ සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීමට ඍජුව සම්බන්ධ වූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ආරක්‍ෂක තත්වය සැළකිල්ලට ගනිමින් එම ප්‍රමාණය පැවසිය නොහැකියි. එම ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු පැවැත්වූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන තිබනවා. ඔවුන් පිළිබඳ පරීක්‍ෂණ විභාග කරමින් සිටිනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් මෙම පියවර ගනිමින් සිටින නිසා නොබෝදිනකින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු පැවැත්වූ සියලූම පුද්ගලයන් පිළිබඳව පරීක්‍ෂණ කිරීමටත්, අනාගතයේදී මෙවන් තත්වයන් ඇතිවීම වැළැක්වීමටත් ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටිනවා. එම නිසා එම පරීක්‍ෂණ කටයුතු මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව පැවසිය යුතුයි.
මේ පිළිබඳව නඩු පැවරීම්, තාක්‍ෂණ වාර්තා ලබාගැනීම් ආදිය නීතිපතිතුමා විසින් සිදු කරනවා. එම වාර්තා අනුව නඩු කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම භාර ගන්නවා. මෙම පරීක්‍ෂණ කටයුතු පිළිබඳ සියලූ තොරතුරු දිගින් දිගටම පැවසීම තුළින් ඒවායේ රහස්‍ය භාවයට යම් හානියක් සිදුවිය හැකි නිසා එම සියලූ තොරතුරු පැවසීමට අපි කටයුතු කරන්නේ නැහැ.
ආරක්ෂක අංශ කරන පරීක්ෂණ අඩපණ වීමට ඉඩ දෙන්නේ නැහැ
දැන් අප සිදු කළ යුත්තේ පරීක්‍ෂණ කටයුතු පිළිබඳ සියලූ තොරතුරු ජනමාධ්‍යයට ලබාදී ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් ලබාගැනීම නොව පරීක්‍ෂණ කටයුතු ඉක්මනින් අවසන් කිරීමයි. ඒ බව මම විශේෂයෙන් අවධාරණය කරනවා. ආරක්‍ෂක අංශ විසින් සිදු කරන පරීක්‍ෂණ කටයුතු අඩපණවීමට ඉඩ ලබා දිය නොහැකි නිසා ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම පොලිසියට භාර කරනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මා ඇතුළු අමාත්‍යවරු පරීක්‍ෂණ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා. ඒ පරීක්‍ෂණ කටයුතුවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නිසයි.
රටේ වත්මන් තත්වය පිළිබඳව පළ වන විවිධ සටහන් හා වාර්තා සියල්ල සත්‍ය යැයි තහවුරු කිරීමට හැකි දැයි මම පොලීසියෙන් විමසුවා. අසත්‍ය තොරතුරු රැසක් පැතිර යන නිසා එම සියලූම සටහන් හා වාර්තා සත්‍ය දැයි පැවසීමට නොහැකි බව ඔවුන් මා සමග ප්‍රකාශ කළා.
රහසිගත බව ආරක්ෂා කරගන්න ඕන නිසා මාධ්‍යට ඒ ගැන කියන්නේ නැහැ
මාධ්‍යයට තම ප්‍රවෘත්ති විකාශයන් අලෙවි කර ගැනීමට අවශ්‍ය නිසා කුමන ආකාරයේ වාර්තා ඉදිරිපත් කළත් සත්‍ය තොරතුරු ලබාදෙන්නේ පොලීසිය හරහා පමණක් බව මම අවධාරණය කරනවා. රජය සහ ආරක්‍ෂක අංශ විසින් මේ පිළිබඳව විශාල වැඩ කොටසක් සිදු කළත් රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය නිසා ඒවා ජනතාවට හෝ ජනමාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ. නමුත් එවිට සිදු වන්නේ රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නවා යැයි මතයක් නිර්මාණය වීමයි. රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය බැවින් රජය සහ ආරක්‍ෂක අංශ දෝෂාරෝපණයට ලක්වෙමින් සිටින බවත් සිහිපත් කළ යුතුයි.
ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඒ සියලූ සැකකරුවන් හඳුනාගැනීමට අපට හැකි වුණා. මෙවැනි විශාල ප්‍රහාරයකින් පසුව ඉක්මනින් ප්‍රතිචාර දක්වා පරීක්‍ෂණ කටයුතු සාර්ථක කර ගත් අවස්ථා ලෝකයේ තිබෙන්නේත් ඉතා සීමිත ප්‍රමාණයක් බව විදෙස් ආයතන පවා අප සමග පවසනවා. ශ්‍රී ලංකාවේ සිදුවන පරීක්‍ෂණ කටයුතුවල සාර්ථකත්වය පිළිබඳව ඔවුන් මවිතයට පත් වන අතර, ප්‍රශංසාව ද පළ කර සිටිනවා. එම නිසා මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමට ආරක්‍ෂක අංශවලට ඉඩ ලබාදිය යුතුයි.
ප්‍රභාකරන්ට විරුද්ධව නඩු පැවරුවේ දොරේ අප්පා ඝාතනයෙන් වසර 20 කට පස්සේ
ප්‍රභාකරන් විසින් යාපනයේදී ඇල්ෆ්‍රඩ් දෙරේ අප්පා ඝාතනය සිදු කළේ 1976 වසරේදීයි. නමුත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට අවශ්‍ය තරම් සාක්‍ෂි තිබුණේ නැහැ. ප්‍රභාකරන්ට විරුද්ධව පළමුව සාක්‍ෂි ලැබුණේ මහා බැංකුවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදීයි. ඒ අනුව ප්‍රභාකරන්ට විරුද්ධව නඩු පැවරිය හැකි සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුවයි.
නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාසයක් ගතවීමටත් පෙර එම ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකිවී තිබෙනවා. අපේ රජය සහ ආරක්‍ෂක අංශ ඒ ආකාරයට සීඝ්‍රයෙන් වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.
ආරක්‍ෂක අංශවලට එම කටයුතු වේගයෙන් ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය සහයෝගය අප ලබාදිය යුතුයි. රට තුළ වෙනත් ගැටළු හෝ අර්බුද නිර්මාණය කර පරීක්‍ෂණ කටයුතු සඳහා බාධා නොකරමු යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අවශ්‍ය ඉක්මනින් ත්‍රස්තවාදය සම්බන්ධ පරීක්‍ෂණ අවසන් කිරීමටයි. එම නිසා පරීක්‍ෂණ පිළිබඳ සාර්ථක ප්‍රතිඵල ආරක්‍ෂක අංශ විසින් ලබාදෙන තුරු ඉවසීමෙන් සිටින්න යැයි මම ජනතාවට පවසනවා.'' යන්නයි.
Post a Comment