‘‘ත්‍රස්ත ප්‍රහාරය ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න‘‘ - අගමැති


අගමැති රනිල් වික්‍රමසිංහ ඇල්පිටිය, මෙරිකිඩ්ස් උත්සව ශාලාවේදී ඊයේ (11) දින පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසුවේ, පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධව රට තුළ මතුවෙමින් තිබෙන කරුණු පිළිබඳව සැකයක් තිබෙනවා නම් ඒ සැකය දුරු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම උචිත බවයි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

දින තුනක විවාදය 

‘‘බෝම්බ සිදුවීමේ සිද්ධිය හා ඊට පසු ඇතිවූ තත්ත්වය පිළිබඳව දින තුනක විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණා. එහිදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කළා. නමුත් ඇතැම් අය සම්පූර්ණයෙන්ම දේශපාලනය ගැන කතා කිරීමට ඒ විවාදය යොදා ගත්තා. ජනතා විශ්වාසය යළි ගොඩනැංවීමට ඒ අයගෙන් කිසිම සහයක් ලැබුණේ නැහැ. ඒ ගැන මා කණගාටු වෙනවා.

මේ විවාදයයේදී ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා කළ කතාවක් ගැන මාගේ විශේෂ අවධානයක් යොමු වුණා. බෝම්බ පිපිරීමේ සිද්ධිය ගැන සොයා බලන්න පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බව එතුමා ප්‍රකාශ කළා. 

බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධව විවිධ චෝදනා එල්ල වෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් මේ චෝදනා සියල්ල පිළිබඳව සොයා බැලිය හැකියි. අපි නම් කවුරුත් ආරක්‍ෂා කරන්න යන්නේ නැහැ. 

ජනාධිපති කොමිසම ප්‍රමාණවත් නැහැ කියනවා - පාර්ලිමේන්තුවට බලය දියයුතු බව ජයම්පති වික්‍රමරත්න පැවසුවා  

මේ සිද්ධිය සම්බන්ධව සොයා බලන්න ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. අද ඇතැම් අය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව පැත්තෙන් පත් කළ එම කොමිෂන් සභාව ප්‍රමාණවත් නැහැ කියායි. එසේ නම් සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් මේ ඕනෑම කාරණයක් පිළිබඳව විමසා බැලිය හැකියි එහිදී බයවෙන්න දෙයක් නැහැ. සඟවන්න දෙයක් නැහැ. ආරක්‍ෂා කරන්න කවුරුත් ඇත්තේ නැහැ. අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙය විවෘතව සොයා බලන්න. ඒවා හෙළි කරන්න. කවුරුන් හෝ තමන්ගේ වැඩකටයුතු සිදු කර නැත්නම්, තම වගකීම ඉටු කර නැත්නම් ඒ බව හෙළි කර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.

මෙම යෝජනාවට සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරු අත්සන් කර තිබෙනවා. බෝම්බ පිපිරුණු දිනයේ මා මේවා ගැන කතා කරන්න ගියේ නැහැ. එදා මා ක්‍රියා කළේ රටේ ස්ථාවර භාවය ඇති කිරීමටයි. නමුත් අතීතයේ සිදු වූයේ කුමක් ද කියා දැන් සොයා බැලිය හැකියි. 

තේරීම් කාරක සභාව ගැන විපක්ෂ නායකවරයාත් කිව්වා 

මේ සම්බන්ධව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම හොඳ පියවරක් බව හිටපු ජනාධිපතිතුමා ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධව පක්ෂ අතර බේදයක් නැති බව පැහැදිලියි. එසේ නම් සියලූ දෙනා එකමුතුයි. කුමක් ද සිදුවුණේ කියා සොයා බැලිය හැකියි. 

මෙවැනි සිද්ධීන් අනාගතයේ ඇති නොවන ලෙස අලූත් ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇති කර ගන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.‘‘ යන්නයි.