‘‘මෙරට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කිරීමට අප කැපවිය යුතුයි‘‘ - අගමැති



අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) ගාල්ල, තෙල්වත්ත, පුරාණ තොටගමුව රත්පත් රජමහා විභාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් අවධාරණය කළේ බුදුන් වදාළ උතුම් ධර්ම මාර්ගය අනුව යමින් මෙරට ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට කැපවිය යුතු බවයි. 

මේ අවස්ථාවට  සංඝ රත්නය, ගාමිණි ජයවික්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක ආදී අමාත්‍යවරුන් ද දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු පිරිස සහභාගී විය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

''දේශපාලනඥයින් වශයෙන් අපි හැම දිනකම මෙවැනි වැඩසටහන්වලදී කතා කරනවා. නමුත් අද වෙසක් පෙහොය දිනය නිසා මා දීර්ඝ වශයෙන් අදහස් දක්වන්න බලාපොරොත්තු වන්නේ නැහැ. සුළුවෙන් හෝ කතාවක් පැවැත්වීමට මට ආරාධනා කිරීම පිළිබඳව ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ ස්තඣතිය පළ කර සිටීමට කැමැතියි. 

අද මේ වෙසක් පොහොය දිනය ලංකාවට මෙන්ම ලෝකයටම වැදගත් දිනයක් බව කිව යුතුයි. බුදු දහම ලොවට දායාද කළ බුදුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේ සමරන විශේෂ දිනය ලෙස වෙසක් පොහොය දිනය හැදින්විය හැකියි. 

මේ වෙසක් පොහොය වෙනුවෙන් අද ලෝකයේ රටවල් ගණනාවක මෙවැනි ආගමික උත්සව පවත්වනවා. බෞද්ධ රටවල් පමණක් නොව වෙනත් රටවලදී එම කටයුතුවල නියැලෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ සෑම කෙනාටම බලපානවා. දුක හැම පුද්ගලයෙක්ටම තිබෙනවා. දුක නැති කිරීම හැම පුද්ගලයකුගේම පරමාර්ථය විය යුතුයි. ඒ අනුව අපේ ජීවිතය අප හැසිරවිය යුතුයි. ඒ පණිවුඩය ලොව සෑම කෙනාටම බලපානවා. තමන් වෙනත් ආගමක් අදහන අයෙක් වුවත් බුදුන් වහන්සේගේ ධර්මය ඔහුට හෝ ඇයට පිළිපැදිය හැකියි. එසේ නම් ඒ ධර්ම ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක් වෙනවා. 

වෙසක් පොහොය දිනයේ විහාරස්ථාන වෙත පැමිණ අප සිල් සමාදන් වුණත්, මල් පහන් පූජා කරමින් ආගමික වතාවත්වල නිරතවීම තුළින් බුදු දහම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව උදාවෙනවා. එමෙන්ම බුදුන් වහන්සේගේ ධර්මයත් ඒ ප්‍රතිපත්ති අද තිබෙන සංකීර්ණ සමාජයේ, ජංගම දුරකථන හා පරිගණක තාක්‍ෂණය දියුණු සමාජයේ ඉදිරියට ගෙන යාමට විශේෂ පියවර ගත යුතුයි. 

මේ රටේ අපි බුදුන් වහන්සේගේ ධර්මය ආරක්‍ෂා කළා. තෙරුන් වහන්සේලාගේ ධර්මය ආරක්‍ෂා කළා. තෙරුන් වහන්සේලාගේ ථෙරවාදී ධර්මය නිසා අපේ රටේ ශිෂ්ටාචාරය බිහිවුණා. සිංහල ජාතිය වර්ධනය වුණේ ඒ ශිෂ්ටාචාරය පදනම් කරගෙනයි. 

බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන අනෙකුත් ශ්‍රී ලාංකික ජාතීන් ද මෙය පිළිගන්නවා. 

බුදුන් වහන්සේගේ ධර්මය පදනම් කර ගෙන අපේ රටත්, ජනතාවත් බිහිවුණා. රටේ පැවැති සාම්ප්‍රදායික චාරිත්‍ර හා වෙනත් ආගම්වල චාරිත්‍ර මෙතැනට බලපෑවා. නමුත් එහි හරය වන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි. ඒ අනුව අපේ රටේ මේ ශිෂ්ටාචාරය අප පිළිගත යුතුයි. 

බුදුන් වහන්සේගේ ධර්මයට මුල්තැන දිය යුතු බව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙනවා. ඒ අනුව එය පිළිගනිමින් සමාජයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී ඕනෑම අයෙකුට තම වැඩකටයුතු කර ගෙන යෑමට ආගමික නිදහස තිබෙනවා. 

බුදුන් වහන්සේගේ ධර්මය අප ආරක්‍ෂා කර ඒ ශුද්ධ වූ ධර්මය කුමක්ද කියා අප හැමෝම දැනගත යුතුයි. ඒ මත අනාගතය රදා පවතිනවා. අද ලෝකය දෙස බලනවිට ලොව හැම තැනම දුක පැතිරෙනවා. තණ්හාව, වෛරය, ක්‍රෝධය හැම තැනම තිබෙනවා. මෙය අප තේරුම් ගෙන නැහැ. එය අවබෝධ කරගෙන ඉදිරියට යා යුතුයි. 

කෝට්ටේ යුගයේදී මේ ප්‍රදේශ පාලනය කළ තොටගමුවේ සිට අද අපිට මේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අවස්ථාව උදාවුණා. තොගමුව විජයබා පිරිවෙනෙන් සිංහල සාහිත්‍ය බිහිවුණා. බුද්ධ ධර්මය හා සිංහල සාහිත්‍ය අතර තිබෙන සම්බන්ධතාවය ඉන් පැහැදිලි වෙනවා. ලෝවැඩ සඟරාව කළ වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේත්, උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ නමක් වන රාහුල ස්වාමීන් වහන්සේත් නිසා තමයි අද අප දන්නා සිංහල සාහිත්‍ය බිහිවී තිබෙන්නේ. තොටගමුව පන්සල නොතිබුණානම් ඊට සම්බන්ධ වීදාගම නොතිබුණානම් මේ කිසිවක් ඇතිවන්නේ නැහැ. ඒ සියල්ල නැතිවෙනවා. 

කෝට්ටේ යුගය ගැන කතා කරන විට වැදගත් විහාරස්ථාන දෙකක් ලෙස තොටගමුව හා වීදාගම හැදින්විය හැකියි. මේ විහාරස්ථාන දෙකම පෘතුගීසීන් විනාශ කළා. ගොඩනැගිලි, බුද්ධ ප්‍රතිමා එලෙස නැති කළ හැකියි. බෝගස් කපා දැමිය හැකියි. එහෙත් අපේ සිතේ සහ මනසේ තිබෙන දේ නැති කරන්න බැහැ. 

ඒ නිසා යළිත් මෙරට තෙරුන් වහන්සේලාගේ ධර්මය දියුණු වුණා. එය ඉදිරියට ගෙන යෑමට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කළ සේවය සිහිපත් කළ යුතුයි. ඒ අනුව යමින් මේ රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා අප සියලූ දෙනා කැපවී ක්‍රියා කළ යුතුයි.'' යන්නයි.