‘‘ජනතාව තුළ රජය හා දේශපාලඥයන් ගැන විශ්වාසය බිඳ වැටිලා‘‘ - අගමැති


වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ එම වැඩකටයුතු පහසුකරවීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම ආණ්ඩුවේ යාන්ත්‍රණය යොදවන බව අද (13) අරලියගහ මන්දිරයේදී ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය. 

පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඒ විශ්වාසය නොපමාව යළි ගොඩනගා රට ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. 

අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, 

රජය හා දේශපාලඥයන් ගැන ජනතාව තුළ විශ්වාසය බිඳ වැටිලා 

''පාසල්වල මෙන්ම අනෙකුත් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාව, කී්‍රඩාව වැනි බාහිර අංශ වෙත යොදා ගැනීමෙන් ඔවුන් අන්තවාදයට යෑමට ඇති අවස්ථා මඟහරවා ගත හැකියි. අපි පාසල් ගිය කාලයේ අන්තවාදී අදහස් වෙත කාලය යොදවන්න වෙලාවක් තිබුණේ නැහැ. අද පත්වීම් ලබන ඔබට වගකීමක් තිබෙනවා. අනාගත පරපුර අන්තවාදයට තල්ලූ නොවී වලක්වා ගැනීමට ඒ සඳහා වැඩි වශයෙන් දරුවන් කී්‍රඩාවට යොමු කරවා ගත යුතුයි. 

පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය කෙරෙහි හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය කඩා වැටී තිබෙනවා. කුමක්ද සිදු වන්නේ කියා අද සිතාගත නොහැකිව අද සමාජය අතරමං වෙලා වගේ බලා සිටිනවා. කඩා වැටුණු මේ ජනතා විශ්වාසය යලි අපි ගොඩනැගිය යුතුයි. 

වෙසක් පෝය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන 

පසුගිය දිනවල මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අනුව වෙසක් පෝය දිනය හා ඒ කාලය තුල සිදු කරන වැඩකටයුතු පිළිබඳව උන් වහන්සේලාට තීරණයක් ගන්නා ලෙස අප උන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරිය යුතු බවට මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය කර ඒ බව දැනුම් දී තිබෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලාගේ මේ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ආණ්ඩුව තීරණය කළා. ආණ්ඩුවේ යාන්ත්‍රණයත් ඊට අයත් ආරක්ෂක ක්ෂේත්‍රයත් ඒ සඳහා යොදවා ඊට අදාල වැඩකටයුතු අප සිදු කරනවා. 

වෙසක් පොහොය කඩා කප්පල් කිරීමට හෝ නවතා දැමීමට පෘතුගී්‍රසීන්ටවත් නොහැකි වුණා. මේ අනුව ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික වැඩකටයුතුවල නියලෙනු ඇතැයි අප විශ්වාස කරනවා.''