‘‘සමාජ මාධ්‍ය තහනම තොරතුරු වෙත පිවිසීමට බාධාවක්‘‘ - ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය





අප්‍රේල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජය ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් හා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීම තමන් දැඩිව හෙළාදකින බව පවසමින් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙමගින් මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට බාධාවක් බව ද වැඩිදුරටත් දක්වා තිබේ. එමෙන්ම, සිය සමීපතමයින් සමග සම්බන්ධ වීමට උත්සහ දරන පිරිස් මෙමගින් අනවශ්‍ය පීඩාවට පත්වන බව ද දක්වයි. 
විශේෂයෙන්ම, පවතින තත්ත්වය හමුවේ මාධ්‍යවේදීන්ට දැඩි දුෂ්කරතා වලට මුහුණදීමට සිදුව ඇති බව ද දක්වා ඇත. 
බෝම්බ ප්‍රහාරය සිදුවී පැය 12 ක් යාමට මත්තෙන්  අසත්‍ය පුවත් ප්‍රචාරය වීම වැළැක්වීමේ අරමුණින් මෙම තහනම ගෙනා බව ද  මේ තීරණය නිසා ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූ ටියුබ්, ස්නැප් චැට් හා වයිබර් වෙත පිවිසීමට නොහැකි බව ද නිවේදනයේ දක්වා තිබේ.  VPN භාවිත කිරීම ද බලපෑමක් ඇති කටයුත්තක් බව ද දක්වා තිබේ. 
මේ තහනම ඉවත් කරන නිශ්චිත දිනයක් රජය විසින් ප්‍රකාශයට පත්කර නැති අතර මීට පෙර 2018 වසරේදී ද මෙවැනි තහනමක් ක්‍රියාත්මක කර ඇති අතර වත්මන් තත්ත්වය ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය සංගම් ද හෙළා දැක තිබේ.