මැයි 9 - 10 පැවැත්වීමට තිබූ ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


රටේ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වය සලකා මැයි 9 -10 පැවැත්වීමට තිබූ ගුරු විදුහල්පති වෘත්තීය ක‍්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුරු වෘත්තීය සංගම් නිවේදනය කර සිටියි. 

මෙහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ,

‘‘වසර 22 ක් ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින බරපතල වැටුප් විෂමතාව විසඳීම ඇතුළු ප‍්‍රධාන ඉල්ලීම් 04 ක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති 34 ක් ඒකාබද්ධව මැයි 9 හා 10 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් හා මැයි 09 වන දින උද්ඝෝෂණයක් කැඳවා තිබුණි. 

නමුත්, අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හා ඉන් අනතුරුව රට තුළ උද්ගතව ඇති තත්ත්වය හා සිසු දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වෘත්තීය ක‍්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීිරණය කළ බව අප සංගම් මෙයින් නිවේදනය කර සිටිමු.  ඒ අනුව අප සේවාවන්ට අයත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සියලූ දෙනා අදාල දිනයන්හි සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටිමු.

මෙම ගැටළු විසඳීම සඳහා ආණ්ඩුවට තවත් සැලකිය යුතු කාලයක් ලැබෙන අතර, අපගේ ඉල්ලීම් ලබාදීමට අසමත් වුවහොත් රට තුල සාමාන්‍ය තත්වයක් තහවුරු වූ වහාම නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට අප සංගම් කිසිසේත් පසුබට නොවන බව දැඩිව අවධාරණය කරමු.‘‘ යන්නයි.