ඛේමාගේ කොලුවා සහ සෑම් මාමාගේ කෙල්ල

ජාතියක් ලෙස දැනටමත් අපි පරාජිතය. නමුත් නින්දේදී මියැදී අනාගත පරපුරේ ශාපයට ලක්වීමට වඩා අහම්බෙන් හෝ අවදී වී වෙනසක් වෙනුවෙන් කටයුතු කිරීමට හැකි අවස්ථාවක් තිබේනම් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වැදගත් වේ. ඛේමාගේ කොලුවා, සෑම් මාමාගේ කෙල්ල  දිනා ගත් අකාරයෙන්ම එය කළ හැකිනම් හෙට එතරම් අඳුරු නොවනු ඇත. 

කතුවැකිය

දේශපාලනයට පැමිණ වසර තිහක් ඉකුත් වී දින කිහිපයකින් පසු ඛේමාගේ කොලුවා වෙනස්ම තාලයක අයවැයක් ඉදිරිපත් කොට ඇත. අයවැය ගැන අපි වෙනම කතා කළ යුතු වේ. නමුත් ඔහු ගෙවා දැමු වසර තිහ ගැන සරල අර්ථකතනයක් ප්‍රමාද වී හෝ ලබාදීම අවශ්‍යය යැයි සිතේ. ඛේමාගේ කොලුවාගේ මීළඟ දේශපාලන පිම්ම කුමක්ද යන්න කිසිවෙකුට අනුමාන කළ නොහැකි කාරණයක් සේම ඔහුගේ හීනය දේශපාලනයෙන් විශ්‍රාම යෑමද ? නොඑසේනම් කෙදිනක හෝ රටේ විධායක බලතල සහිත අගමැතිවරයෙකු වීමද යන්න ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුත් නොදන්නේය. නමුත් ඔහු ඔහුට සැලකු අයවලුන්ට කෘතගුණ සලකා ඇත. ඔවුහු වේදිකාවට කැඳවා සම්මානයෙන් පුදනු ලැබීය. 


දේශපාලනික වශයෙන් ගත් කල ගෙවාදැමූ වසර තිහ වඩාත් යහපත් ලෙස භාවිතා කිරීමට හෙතම උත්සහ ගත් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයකි. අදාළ කාරණය ගැන සරලාවබෝධයක් ලබා ගැනීම සඳහා, ඔහුගේ දේශපාලන සමකාලීනයකු වන එස්. බී. දිසානායක සමග සැසඳීම යෝග්‍යය යැයි සිතේ. යම් පුද්ගලයෙකු දේශපාලනය කිරීම සහ දේශපාලනය මෙවලමක් ලෙස තබාගෙන තමන්ගේ වරිගයේ බලය පළල් කිරීම අතර ඇති වෙනස මෙම පුද්ගල චරිත දෙක සැසඳීමෙන් අවබෝධ කර ගත හැකිය. එසේම ගෙවුණු වසර තිහ තුළ සිංහල දේශපාලන කුලකය තුළ සිදු වූ වින්නැහිය සහ එය එකිනෙකාගේ පෞද්ගලික සිතැඟියාවන් මුදුන් පත් කර ගැනීම සඳහා අවාභාවිතයේ යෙදුනු අකාරය ගැන අවබෝධ කර ගැනීම සඳහා මෙම සැසඳීම ප්‍රයෝජනවත් යැයි සිතේ. ගෙවුණු වසර තිහ තුළ මෙරට සිංහල ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණයන් හාස්‍යයට ලක් වී ඇති ආකාරය මෙම චරිත දෙක ඔස්සේ වඩාත් මැනවින් අවබෝධ කරගත හැකිය.  

මෙය මෙරටට පමණක් සීමාවූ දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නමින්  අලංකාර කරනු ලැබූ පරිපාලන විධික්‍රමය ක්‍රියාත්මක වන බොහෝ රාජ්‍යයන් වල සිදු වෙමින් ඇත්තේ මෙයයි. 

ඉතිහාසය විසින් අපට ඉතාම ලස්සන පාඩමක් උගන්වා දී ඇත. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි (වෙනස්) පරිපාලන විධික්‍රමයක් ලොවේ බලය තුළනය කරනතාක් දුරට එහි සතුරා බාහිරව වෙසෙන අතර, ඊට එරෙහි පරිපාලන විධික්‍රම දුර්වල වී පරිපාලනයේ එකම විධික්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වූ විට එය අභ්‍යන්තරයෙන් දිරා යෑමට ලක් වේ. එය අපහරණය කරන පිරිස් ක්‍රමවේදය තුළම බිහිවේ. බර්ලින් තාප්පය පොළවට සමතලා වීමෙන් පසු ඇති වූ තත්වය එයයි.  

ගෙවී ගිය වසර තිහක කාලයෙන් පසු ට්‍රම්ප්, දුත්‍රේ, ආදී දේශපාලන චරිත වල නැගීම ඔස්සේ පෙන්නුම් කරනු ලබන්නේ එයයි.    ඒ තුළ ජීවත් වූ බොහෝ දෙනෙකු අතරින් ඉතාම සුළු පිරිසක් යම්කිසි යහපත් සේවයක් සිදු කිරීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණයන් අපහරණය නොකිරීමට උත්සහ කරනු ලැබුහ. නමුත් සමාජ ක්‍රමවේදය තුළ දිවි ගළවාගෙන දේශපාලනය කිරීම සඳහා අවශ්‍යය තැනදී ඩීල්කරුවන්ද  භාවිතා නොකළේ යැයි කිව නොහැකිය. 

ට්‍රම්ප් යටතේ පරිපාලනය වන වත්මන් එක්සත් ජනපදය ගැන මහත් වේදනාවට පත් වී සිටින සමන්තා පවර් හෙවත් සෑම් මාමාගේ කෙල්ල මෙන්ම පැතු සිහින ඉටු නොවීම හේතුවෙන් පැරණි සිහිනයම තව දුරටත් දකිමින් සතුටු වීමට අර අදින ඛේමාගේ කොලුවා අතර කිසිඳු වෙනසක් නැත්තේ මෙතනදීය. දෙදෙනාම දකින්නේ එකම සිහිනයක් බැවින් එම දෙදෙනාට එකතු වීමට එතරම අපහසුවක් නැත. එහි ඇති වඩාත් ආකර්ශනීය කාරණය වන්නේ එම එකතුවීම තුළ දෙදෙනාට දෙදෙනා නියෝජනය කරන රාජ්‍යයන් සහ එහි වුවමණාවන් පවා අත්හළ හැකි වීමය. ක්‍රමෝපායික රාජ්‍යය ධූත සේවය යනු මෙයයි. ඇමරිකානු පුරවැසියන් ලෙස එරට සැප ගෙන තම දූ දරුවන්ට එම ලෝකය සුරක්ෂිත කොට දී මෙරට මහපොළවේ අපා දුක්විඳින අයවලුන් අන්ධ වර්ගවාදීන් බවට පත් කොට එය දේශප්‍රේමය යැයි උගන්වන කපටි මිනිසුන් සඟවා තබන්නේ මෙම සත්‍යයි. 

එහිදී ඛේමාගේ කොලුවා, මෙරට හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ලෙස සේවය කරමින් දිනාගෙන ඇත්තේ පහසුවෙන් අනෙකාට දිනා ගැනීමට හැකි වූ පරාසයක් නොවේ. එය, වඩාත් සාර්ථක සහ දිගු කාලීනව වැදගත් වන ජයග්‍රහණයකි. 

වසර තිහක් නික්ම ගොසිනි. මළ කඳන් මතින් පසු කරනු ලැබූ එම අතීතය වෙනුවට, රෝස මල් මතින් ගමන් කළ හැකි මාවත් තැනීම සඳහා රාජ්‍යය ප්‍රතිපත්ති සහ ඒ සඳහා අවංකව සහයෝගය දක්වන කුසලතාවයෙන් පිරි අයවලුන්ගේ සේවාව ලබා ගත යුතු මොහොත උදා වී වසර හතරක් ඉකුත් වී ඇත. ජාතියක් ලෙස දැනටමත් අපි පරාජිතය. නමුත් නින්දේදී මියැදී අනාගත පරපුරේ ශාපයට ලක්වීමට වඩා අහම්බෙන් හෝ අවදී වී වෙනසක් වෙනුවෙන් කටයුතු කිරීමට හැකි අවස්ථාවක් තිබේනම් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වැදගත් වේ. ඛේමාගේ කොලුවා, සෑම් මාමාගේ කෙල්ල  දිනා ගත් අකාරයෙන්ම එය කළ හැකිනම් හෙට එතරම් අඳුරු නොවනු ඇත. 

ඉතින් අපි ඛේමාගේ කොලුවාගේ හීනය රටේ හීනය කරගනිමු!