‘‘ග‍්‍රාමීය පාසල් වල සේවයේ යෙදෙන ගුරු, විදුහල්පති දුෂ්කර දීමනා වැඩිකරන්න‘‘ - ලංකා ගුරුසේවා සංගමය


දුෂ්කර ග‍්‍රාමීය පාසල් වල සේවයේ නියුතු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මේ වන විට මසකට ගෙවනු ලබන රු: 1500 ක දුෂ්කර දීමනාව හා රු: 2500 ක දුෂ්කර දීමනාව ප‍්‍රමාණවත් පරිදි වැඩි කිරීමට වහා පියවර ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධ අමාත්‍යවරයාට ලිපියක් යොමුකර මේ සංගමයේ විධායක සභාව නියෝජනය කරන මහින්ද ජයසිංහගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් දක්වන්නේ, මෙම දීමනා මීට වසර ගණනාවකට පෙර ගෙවන ලද්දක් වන අතර වර්තමාන ජීවන තත්ත්වයත් සමග මේ මුදල ප්‍රමාණවත් නොවන බවයි. 


මෙහිදී ඔවුන් අවධාරණය කර සිටින ප්‍රධාන කරුණු කීපයක් වන්නේ, 

‘‘විශේෂයෙන් ප‍්‍රධාන නගර වල සිට බස්රථයක් පවා හරිහැටි ධාවනය නොවන ප‍්‍රමාණවත් පරිදි නවාතැන් පහසුකම් හෝ ගුරු නිවාස නොමැති දුෂ්කර ග‍්‍රාමීය පාසල් වෙත නියමිත වේලාවට සේවයට වාර්තා කිරීමට යන ගුරුවරුන්ට දවස් කිහිපයක් කුලියට ගැනෙන ත‍්‍රීවිල් රථවලට ගෙවීමට පවා මෙම මුදල ප‍්‍රමාණවත් නොවන බව 

මෙවැනි වටපිටාවක් තුළ දුෂ්කර ග‍්‍රාමීය පාසල් වලට පත්වීම් ලබන ගුරුවරුන්, විදුහල්පතිවරුන් බොහෝමයක් නැවත පහසු ප‍්‍රදේශ වල පාසල් වෙත ස්ථාන මාරුවීමට හෝ සේවය හැර යාමට පෙළඹී ඇත. මේ නිසා මෙම පළාත් වල උග‍්‍ර ගුරු හිගයට මෙය හේතුවක් බව

ඒ අනුව දශක කිහිපයක් පැවති මෙම ගැටළු නිසා අධ්‍යාපන අමාත්‍යාංශය පැවැත් වු පසුගිය සමීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ 1 වන ශ්‍රේණියට කිසිදු අයදුම්පතක් ඉදිරිපත් නොවු දුෂ්කර ප‍්‍රාථමික පාසල් 350 ක් පමණ ඇති බවත්, තවත් පාසල් 3000 ක පමණ අධ්‍යාපන ලබනුයේ සිසුන් 100 - 150 ක් අතර අඩු ප‍්‍රමාණයක් බවයි

මෙවැනි වටපිටාවක් තුළ පාසල් හැර ගිය සිසුන් ප‍්‍රමාණයද ඉතා ඉහළ අගයක් වන අතර කෝටිගණන් මුදල් වැය කර උත්සව පවත්වන 1-13 අනිවාර්ය අධ්‍යාපනය යථාර්ථයක් නොවන බව‘‘ යි.