13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය ඇරඹේ


චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අද (05) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන නායකයෝ සහ 3000කට ආසන්න මහජන නියෝජිතයෝ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ ආරම්භක උත්සවයට එක් වූහ. එහිදී චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා 2018 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව සහ 2019 වසරේ රාජ්‍ය කාර්යයන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය.

වසර 2018 චීනයේ විවෘත ක්‍රියාදාමය අංගසම්පූර්ණයෙන්ම පුළුල් වී ඇති බව එම වාර්තාවේ දැක්විණ. සෙසු රටවල් සමග පොදුවේ ක්‍රියාත්මක කරන ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල මගින් චීනය වැදගත් ප්‍රගතීන් රැසක් දිනා ගෙන ඇත. ඇ.ඩො. බිලියන 138.3ක විදේශ ආයෝජන සිදුකළ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක සිටී. 

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පරිදි, 2018 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.6කින් වර්ධනය විය. එහි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 90කින් ඉක්මවා ගියේය.  වැඩි වී ඇති නාගරික රැකියා අවස්ථා මිලියන 13.61ක් පමණ වෙයි. ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු ජනගහණය මිලියන 13.86කින් අඩු වී ඇති අතර චීන වැසියන්ගේ එක්පුද්ගල ආදායම සියයට 6.5කින් වර්ධනය වී ඇත. 


චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතවරුන් වෙත ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, වසර 2019යේ චීන රජය පෙරට වඩා විශාල පරිමාණයේ බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. නිෂ්පාදන කර්මාන්ත සහ සුළු ව්‍යාපාරවල බදු පීඩනය අඩු කිරීමට විශේෂ අවධානයක් යොමු වනු ඇත. නිෂ්පාදන කර්මාන්තයේ බදු අනුපාතය සියයට 16 සිට සියයට 13 දක්වා පහල දැමීමට සැරසේ. සියළු කර්මාන්තවල බදු අනුපාතය අඩු කරමින් ප්‍රධාන කර්මාන්තවල බදු පීඩනය කැපී පෙනෙන ලෙස ලිහිල් කිරීමට පියවර ගැනේ.