‘සුළඟ අප රැගෙන යාවි’ නිර්මාණය වෙන්නේ මා දුටු චරිත ඇසුරිනුයි – නුවන් ජයතිලක


මුලින්ම ඔබ සිනමාවට පිවිසීමේ පසුබිම ගැන කතා කළොත් ?

දිවයින’ පුවත්පතේ සහ රාවය පුවත්පතේ මා මාධ්‍යවේදියකු ලෙස කලක් වැඩ කළා. වැසූ මව්බිම පත්තරේ එකල යුද කලාපවලට ගොස් ලියුවා, ඡායාරූප ගත්තා. ඉන්පසු විමුක්ති ජයසුන්දරගේ දෙවන චිත‍්‍රපටය ‘අහසින් වැටෙයි’ සමග එක් වුණා. ඒ අතර අනූව දශකයේ දී බුද්ධික දමයන්ත සමග වේදිකාවේ කටයුතුුු කළා. නාට්‍යකරුවකු වෙන්න හීන මැව්ව මා මාධ්‍යකරුවකු වුණා. පසුව සිනමාකරුවකු වෙන්න හීන මවනවා. විමුක්ති ජයසුන්දරගේ වෙළෙඳ දැන්වීම් ආයතනයකට සම්බන්ධ වෙලා එහි විවිධ ඉසව්වල වසර ගණනාවක් වැඩ කළා. ඉන් පස්සේ මම වයිරල් ඇඞ් නමින් ආයතනයක් හැදුවා. එය සාර්ථක වෙද්දී සිනමාකරුවකු වීමේ ආසාව මෝරාගෙන ආවා. මේ අතර තමයි මට ඉන්දියාවේ පූණේවල සිනමා පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලැබෙන්නේ. මේ අනුව චිත‍්‍රපට හදන්න පෙළඹුණා. බොහෝ අමාරුවෙන් මුදල් ටිකක් හොයාගෙන චිත‍්‍රපටයක් කළා. කෙටි චිත‍්‍රපට කීපයකුත් කළා.

ඔබ බොහොම අමාරුවෙන් චිත‍්‍රපටයක් හැදූ බව කිව්වා. ඒක ද මේ අපි දකින්න සූදානම් වෙන්නේ ?

ඔව්.. ඒ ‘සුළඟ අප රැගෙනයාවි’ ලංකාවේ අවසාන තවලම ජීවත් වුණේ නකල්ස් මීමුරේ. මේ අවසන් තවලමේ දිවිගෙවන පවුලක කතාවක් තමයි ‘සුළඟ අප රැගෙනයාවි’ චිත‍්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ. ගමේ ආර්ථිකය තුළ ණය බරින් මිරිකිලා ජීවන අරගලයට මුහුණ දෙන පවුලක්. මේ ජීවන අරගලය නිසාම දෙමව්පියන්ට දරුවන් දෙදෙනා අමතක වෙනවා. මේ දරු දෙදෙනාගේ හුරතලා තමයි තවලමේ හරකා. ගමේ ඉන්න හරක් හොරු කණ්ඩායමක් ඇවිත් හරකා උස්සගෙන යනවා. නැතිවුණු හරකා හොයන්න වැඩිහිටියෝ මිථ්‍යා විශ්වාස පසුපස හඹා යද්දී ළමයින් දෙදෙනා කරන්නේ සතුන්ගේ අඩි පාරේ හරක් හොරා සොයාගෙන යන එකයි. එසේ යන දරුවන්ගේ ගමන නවතින්නේ ම පිටකොටුවෙන්. ඉන්පසු සිද්ධ වෙන කතාව තමයි මේ චිත‍්‍රපටය පුරා දිගහැරෙන්නේ

මේ ඔබේ තිර පිටපතක්ද ?

මේ කතාව මගේ ජීවිතයට සම්බන්ධයි. මටත් පොඩි කාලේ හරකෙක් ඉඳලා නැති වුණා. ඒ නිසා තිර පිටපත ලේසියෙන් නිර්මාණය කරන්න හැකි වුණා. මේ චිත‍්‍රපටයේ සිදුවීම් සියල්ල මගේ ජීවන අත්දැකීමට සම්බන්ධයි. නාට්ටාමිලා ගැන මීමුරේ ගැන මා පුවත්පතකට ලියා තිබෙනවා. මෙහි හැම චරිතයක්ම මා දුටු චරිත


ඔබ ගමෙන් කොළඹට ආ කෙනෙක් ?

ඔව්. මගේ ගම රත්නපුර. රත්නපුර ලෙල්ලෝපිටිය. ජෝ අබේවික‍්‍රම ප‍්‍රවීණ රංගන ශිල්පියාගේ උපන් ගම. ඒක හද්දා පිටිසර ගමක්. මගේ අම්මයි තාත්තයි ඒ ගමේ. ලෙල්ලෝපිටිය මහ විදුහලෙන් මම ඉගෙන ගත්තේ. උසස් පෙළ කරන්න රත්නපුර ධර්මපාලයට එනවා. මට මතකයි ලෙල්ලූපිටියේ ඉඳලා සෙරෙප්පු දෙකක් දාගෙන නගරෙට ආපු අතීතය. මමත් චිත‍්‍රපටයේ පොඩි දරුවො දෙන්නා වගේ නගරෙට ඇවිත් තුෂ්නිම්භූත වෙනවා. ඒත් මම ආපස්සට නොයා කඩාගෙන ඉදිරියට යනවා. මේ චිත‍්‍රපටයේ ළමයින් දෙන්නාත් ඒ වගේ. මේ චිත‍්‍රපටයේ කතාව මගේම ජීවිතේ ෆොටෝ කොපියක්.


ඔබ මේ චිත‍්‍රපටය කළේ කුමන කාලයේද

රූගත කිරීම් අවසන් කළේ 2014 අවුරුද්දේ. 2015 වෙද්දි සියලූ පසු නිෂ්පාදන කටයුතු කරලා සම්මාන උළෙලවලත් පෙන්නුවා. වසර දෙක තුළ ලොව පුරා සිනමා උළෙල හා සිනමා දැක්ම හැටපහකට විතර ඉදිරිපත් කළා. ප‍්‍රධාන උළෙල දොළහකට ගියා. සම්මාන දෙකක් ලබා ගත්තා. ‘හුස්ටන්’ චිත‍්‍රපට උළෙලේ ළමා සහ පවුලේ චිත‍්‍රපට අංශයේ රෙමි සම්මානය ලබා ගත්තා. ඉතාලියේ පැඑයරද ජදපදබ නදරඑයද ෙැිඑසඩ්ක එකේ රටවල් 165ක් අභිබවමින් හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ලබා ගත්තා. ‘සුළග අප රැගෙන යාවි‘ ජාත්‍යන්තර හා ජාතික අවධානය ලබන්න පටන්ගත්තේ එතැන් සිටයි. යුරෝපය පුරා චිත‍්‍රපටයේ DVD නිකුත් කරන්න සූදානම්. ඊට පෙර සිනමාහලට මුදාහැරිය යුතුයි.

චිත‍්‍රපටයට රංගනයෙන් දායක වන්නේ කවුද ?

අයිරාංගනී සේරසිංහ ප‍්‍රධාන චරිතය රඟපානවා. ප‍්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, සුජීව ප‍්‍රියාල්, අංජන පේ‍්‍රමරත්න සහ සේමිණි හෙන්නනායක, සුදම් කටුකිතුල, ප‍්‍රවීන් කටුකිතුල, සංගීතය චිත‍්‍රාල් සෝමපාල. මේ චිත‍්‍රාල් සංගීතය අධ්‍යක්‍ෂණය කළ පළමු චිත‍්‍රපටය. පසුබිම් ගීය ගයන්නේ හිමාෂ මනුප‍්‍රිය. කැමරාව ඇඩම්ස්. ඔහු ‘කූඹියෝ ’ටෙලි නාට්‍යයේ කැමරාකරුවා. ඒත් මේ චිත‍්‍රපටය කරද්දි ඔහු ‘කූඹියෝ’ ටෙලි නාට්‍ය කරලා තිබුණෙ නැහැ.

ඔහු ඇතුළු ශිල්පීන් සියයට අසූවකගේම පළමුවැනි චිත‍්‍රපටය තමයි මේ. චිත‍්‍රපටයේ අසුන සියයට අනූ නවයක් විතර ශබ්ද පටිගත කර තිබෙන්නේ දර්ශන තලයේමයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මම මගේ පරිගණකයෙන්ම තමයි සංස්කරණය කර ගත්තේ. අනුර බණ්ඩාර සහ සමන් ඇල්විටිගල සංස්කාරකවරුන් විදියට වැඩ කළා. ශබ්ද සංයෝජනය පමණක් ජර්මනියේ කළා. චිත‍්‍රපටය මේ වන විට ඔස්ටේ‍්‍ර‍්‍රලියාව, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, වැනි රටවල ප‍්‍රධාන නගරවල පෙන්නුවා. දෙරණ සිනමා උළෙලේ සහ යාපනය සිනමා උළෙලේ ප‍්‍රදර්ශනය කළා. සරසවිය චිත‍්‍රපට උළෙල නියෝජනය කළා.

ඔබ ලංකාවේ පදිංචිකරුවෙක් නොවීම මේ කටයුතුවලට වාසියක් ?

ඔව්. මම පදිංචිවෙලා ඉන්නේ ලන්ඩන්වල. මගේ චිත‍්‍රපටය සිනමා උළෙලවලට යද්දී ඒ නගරවල නතර වෙලා සිනමා ශාලා කුලියට අරගෙන මම අපේ රටේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළා. ‘සුළඟ අප රැගෙන යාවි’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ මායා නවගත්තේගම. ඇය මගේ බිරිඳ. සයිමන් නවගත්තේගම මහතාගේ දියණිය. ඇය ඉන්නෙත් ලන්ඩන්වල.




සටහන – අලහකෝන් (2019 ජනවාරි 25 වැනිදා ‘දිවයින‘ පුවත්පතෙනි)