සුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පී කාර්ල් දිවි ගමනින් සමුගනියි


Chanel හා Fendi සන්නාමයන් වල නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාර්ල් ලාර්ජ්ෆීල්ඩ් ඊයේ (19) උදෑසන සිය දිවි ගමනින් සමුගන්නා තෙක්ම විලාසිතා නිර්මාණ ලෝකයේ දැවැන්ත චරිතයක් වී සිටියේය. 1933 සැප්තැම්බර් 10 වැනිදා ජර්මනියේ, හැම්බර්ග් හිදී ඔහු උපත ලැබූ අතර ඔහු මියයනවිට 85 වන වියේ පසුවුණේය.කාර්ල් ලාර්ජ්ෆීල්ඩ් යන නාමය වඩාත් ප්‍රකට වී තිබෙන්නේ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු ලෙස Chanel නාමය ඉහළට ඔසවා තැබීමට ඔහු දැක්වූ දායකත්වය නිසාවෙනි. 


ජර්මනියෙන් ප්‍රංශයට සංක්‍රමණය වු කාර්ල් 


ජර්මනියේ යුද සමයට පෙර කාලසීමාව වූ 1930 දී මෙලොව එළිය දුටු කාර්ල්ගේ මුල් නම වූවේ කාර්ල් ඔටෝ ලාර්ජ්ෆෙල්ඩ්ට් ය. ලාර්ජ්ෆෙල්ඩ්ට් යන නාමය පාවිච්චි ‘වාණිජ අතින් වඩාත් වාසි සහගත වනු ඇති බවයි‘ ඔහුගේ විශ්වාසය විය.

පැරීසියට සංක්‍රමණය වූ තරුණ කාර්ල්, පියරේ බෝල්මේන්ගේ සහයකයා ලෙස කටයුතු කරන්නට වූවේය. නමුත්, ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වූවේ Chanel සන්නාමය සමග කටයුතු කරන සමයේදීය. කොකෝ චැනල් ජීවිතයෙන් සමුගෙන දශකයක් ගතවී ගොස් තිබුණු සමයක 1983 දී කාර්ල් -  Chanel සන්නාමය සමග සම්බන්ධවී කටයුතු කරන්නට වූවේය. ඔහු සිදුකළ නිර්මාණ මේ සන්නාමයට නව ආලෝකයක් ගෙන එන්නට සමත්විය. 


විලාසිතා ලොව තරුවක් 

කාල් ජර්මන් ජාතික විලාසිතා නිර්මාණ ශිල්පියෙක් වූ අතර කෙටි කොණ්ඩය හා අඳුරු පැහැ උපැස් යුවළ ඔහුටම අනන්‍ය වූ විලාසිතා විය. අඳුරු පැහැ ඇඳුම්, පැළඳුම්, සම් අත්වැසුම්, ඔහුටම අනන්‍ය කෙටි කෙස්වැටිය හා අඳුරු පැහැ කණ්ණාඩිය කාර්ල්ගේ අනන්‍යතාව පෙන්වන සලකුණුය. සිය පෙනුම ගැන විස්තර කරන කාර්ල් පවසන්නේ, ‘මං විකට රූපයක් වගේ, ඒත් ඒ රූපෙට මං කැමතියි‘ යන්නයි. 

‘මං වැඩියෙන්ම කැමති ජීවිතේ අලුත් ආරම්භයන් තියෙනවිටයි‘ යනුවෙන් ඔහු වරක් පැවසුවේය. එපමණක්ද නොව වික්ටෝරියා බෙකම් වැනි නව නිර්මාණශිල්පීන්ට අතහිත දුන් අයෙකු ලෙස ද ඔහු ප්‍රසිද්ධය.


Council of Fashion Designers of America මගින් 2002 දී ලබාදුන් සම්මානය, British Fashion Council 2015 දී ලබාදුන් ඇගයීම, මෙන්ම ප්‍රංශ රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන commander of the Légion d’Honneur ද ජනපති නිකොලොස් සාර්කෝසිගේ අතින් 2010 වසරේදී ලබාගැනීමට සමත්වූවේය.