රුපියල් 3000 අල්ලස් ලෙස ගත් පොලිස් නිළධාරියෙකුට වසර 8 ක සිරදඬුවම්




රථවාහන වරදක් සිදුකළ රියදුරෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද (3) වසර 8 ක බරපතල වැඩසහිත සිරදඩුවම් නියම කර තිබේ. මෙලෙස දඬුවම් නියම කර තිබෙන්නේ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසිනි.






පොලිස් කොස්තාපල්වරයා මෙම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ 2014 වසරේ මැයි මාසයේදියි. අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා 4 ක් යටතේ මොහුට විරුද්ධව නඩු පවරා තිබූ අතර, දඬුවමට අමතරව රුපියල් 20,000 ක දඩ මුදලක්ද ගෙවන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් සැකකරුට නියෝග කර තිබේ.









මේ පුවත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබෙන අදහස වී තිබෙන්නේ මෙරට නීති ක්‍රමය මගින් විවිධ පුද්ගලයින්ට වෙනස් අන්දමින් සලකන බවත්, බ්‍රිතාන්‍ය සමයේදී හඳුන්වාදුන් මෙරට නීති ක්‍රමය වෙනස් වීමේ අවශ්‍යතාවයත්ය.