මානව හිමිකම් සැමරුමට සුදුසුම මඟ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


අදට (දෙසැම්බර් 10) යෙදෙන 70 වැනි ජගත් මානව හිමිකම් දිනය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතා දක්වන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බවත් එම අභියෝග ජයගැනීමට සමස්ත සමාජයේම අවධානය යොමුවිය යුතු බවයි.





එම නිවේදනය පහතින්, ‘‘ජගත් මානව හිමිකම් ප්‍රකාශනයට හැත්තෑ වසරක් සපිරෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බව තේරුම් ගෙන, එම අභියෝග ජය ගැනීමට සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.





ගෙවි ගිය හැත්තෑ වසර තුළ, මානව හිමිකම් ආරක්ෂා කොට පෝෂණය කිරීම පිණිස ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද තබනු ලැබු සෑම පියවරක් දෙසම ආපසු හැරී බැලීමටත්, අනාගතය වඩා යහපත් කර ගැනීම සඳහා සුදානම් වීමටත් යොදා ගත යුතු දිනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම දිනය සලකයි. මෙතෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණ තහවුරු කර ගනිමින් නව අරමුණු කරා යොමු විය යුතු අවස්ථාවක, ශ්‍රී ලංකික සමාජය තුළ මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ පවා අවදානමට ලක් ව තිබීම අවාසනාවත්ත තත්ත්වයකි.





පවතින තත්ත්වය බැලු බැල්මට ව්‍යවස්ථාමය අර්බුදයක් ලෙස පෙනෙන්නට ඇති නමුත්, මේ වන විට එම අර්බුදය ඉන් ඕබබට පැතිර ගොස් තිබේ. සමාජ දේශපාලන හා ආර්ථික යන සියලු කේෂත්‍ර වෙත මෙම අර්බුදය පැතිර ගොස් ඇති අතර වඩා දරුණු ලෙස බලපා ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදි සංස්කෘතිය කෙරෙහිය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි මෙරට මාධ්‍ය නිදහස මෙන්ම මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක දෘෂ්ටිකෝණයෙන් බලන විට අද රට ඉදිරියේ ඇත්තේ බරපතල අවදානමක් බව කිව යුතුය. එවැනි පසුබිමක් තුළ අද දවසේ මෙරට මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් සංස්කෘතිය මුහුණ දී සිටින අභියෝග ජය ගෙන වඩා යහපත් අනාගතයක් ගොඩ නැගීමට දායක වීම මානව හිමිකම් ප්‍රකාශනයේ හැත්තෑවන සංවත්සරය අනුස්මරණය කිරීමට ඇති සුදුසුම මඟ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියි.‘‘