තේරීම් කාරක සභාවේ නම් ලැයිස්තුව අනුමතයි - පක්ෂව ඡන්ද 121 ක්

අද (23) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමට අදාල ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී නැත. පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමගම කතානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධී කතානායකවරයෙක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්ද විමසීමට පෙර පැවසූ අතර කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයට යටත්ව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන අයෙකු බවට ද චෝදනා කළේය. 


තේරීම් කාරක සභාව සඳහා සුළුතර ආණ්ඩු පැවති අවස්ථාවන්හිදී පවා ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජනයක් ලබාදුන් බව දිනේෂ් ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා ලෙසයි මෙහිදී සභානායකවරයා පවසා සිටියේ.


ගමැතිවරයා සහ සභා නායකවරයා පිළිගන්නේ නැත්නම්, කතානායකවරයාද තමන් පිළිනොගන්නා බවත්, එසේනම් පාර්ලිමේන්තුව අතහැර යනබව අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී පැවසු අතර නික්මී ගිය පිරිස විසින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියි.


තේරීම් කාරක සභාව වෙත නියෝජිතයින් පත්කිරීම සඳහා ඡන්දයක් විමසන ලෙස අනුර කුමාර දිසානායක යෝජනා කළා. කතානායකවරයා ඒ සඳහා ඡන්දයක් විමසීමට තීරණය කරනු ලැබු අතර ඡන්දය යෝජනා කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු සභා ගැබෙහි දක්නට නොලැබුණි.


දිනේෂ් ගුණවර්ධන, එස්. බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, මාවෙයි සේනාධිරාජා, විජිත හේරත් එලෙස තෝරාගත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සාමාජිකයින් වනවා.