නැක්සල් ගරිල්ලා භටයින් සමග දිවිගෙවූ ඇල්පා ෂා ගේ කතාව - Nightmarch

නැක්සල් ගරිල්ලා භටයින් සමග පා ගමනින් ගිය ඇල්පා ෂා ගේ කතාව


ඉන්දීය රජය නැක්සල් ව්‍යාපාරයේ ගැටුම් වලට මැදිවූ ප්‍රදේශවල කැරලි මර්දන මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුරදී ඇල්පා ෂා නම් මානව විද්‍යා මහාචාර්යවරිය නැක්සල් ගරිල්ලා පාබල හමුදා ඛණ්ඩය සමගින් එක්වී බිහාරය හා ජාකන්ද් හරහා දින හතක් පුරාවට කිලෝමීටර 250 ක් ගෙවාදමමින් පා ගමනින් ඇවිද යෑමට 2010 වසරේදී සැලසුම් කළාය. ඇල්පා මේ ආයුධ සන්නද්ධ පිරිස් අතර සිටි එකම නිරායුධ තැනැත්තිය වූවාය. ඔලිව් කොළ පැහැ නිළ ඇඳුමක් ඇය ඇඳගෙන සිටි ඈ නිර්භීතව මේ ගමනට එක්වූවේ පර්යේෂණ අරමුණක් පෙරදැරි කරගෙනය. මෙහි දිගහැරෙන්නේ කම්කටොළු, දුර්ග මාවත් මතින් ඇවිද ගිය ඇගේ කතාවයි. මෙහිදී ඇයට අවබෝධ කරගැනීමට වුවමනා වූවේ රටේ දුප්පතුන් ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් මඟහැර ගොස් විප්ලවවාදීන් සමග ඒකාබද්ධ වී තිබෙන්නේ ඇයිදැයි යන්න දැනගැනීමටය.



රළු මාවත් මතින් දිගහැරෙන ඇගේ ගමන් මඟ පුරාවට දිගහැරෙන්නේ විවිධාකාර පසුබිම් වලින් පැවත එන පිරිස් ලෝකය වෙනස් කිරීමට අවි අතට ගෙන එකාවන්ව නැගී සිටියේ ඇයිදැයි යන්න මෙන්ම ඔවුන් බිඳ වැටුණේ කෙසේද යන්නයි. Nightmarch: A Journey Into India's Naxal Heartlands කෘතියට පදනම් වී තිබෙන්නේ ඒ කතාවයි. මෙම කෘතිය ඉන්දීය HarperCollins India සමාගමේ කෘතියක් ලෙස පසුගියදා එළදැක්වුණි. (HarperCollins India වෙතින් කෘතිය ලබාගැනීමට පිවිසෙන්න.)


ගරිල්ලා හමුදා කණ්ඩායම් වලට එක්වන හා ඉන් ඉවතට ඇදී යන ගෝත්‍රික තරුණයින්, උගත්, බුද්ධිමත්  තරුණයින් සිය ආරක්ෂාව පසෙක දමා උසස් පරමාදර්ශයන් ජීවිතය එක්කරගත් අයුරු කෙසේද යන්න, සමානාත්මතාවය ගැබ්වුණු නිවසක් සොයාගෙන විප්ලවය සමග එක්වූ කාන්තාවන්ගේ කතාව, නැක්සලයිට්වාදීන් හා ආරක්ෂක අංශ අතර ඇතිවන ගැටුම් වලින් ඇතිවූ තත්ත්වය ගැන මෙහි සඳහන් වී ඇත.


නැක්සල් බලකොටුවේ සිටින ගෝත්‍රික ජනතාවගේ එදිනෙදා ජීවිතය ඇසුරින් ඇල්පා වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ හා අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස බිහිවුණු Nightmarch කෘතියේ විවරණය කර තිබෙන්නේ සමකාලීන ඉන්දියාවේ හටගත් ගැටුම් වූ ආර්ථික පිළිබිඹුව, නැගී එන අසමානතාවය, පැහැර ගැනීම ආදියයි.


 

ඇල්පා ෂා යනු කවුද ? 


ඇල්පා ෂා London School of Economics and Political Science හි මානවවිද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. නැගෙනහිර ඉන්දියාවේ ආදිවාසී ජනතාව සමග වසර ගණනාවක් පුරා ජීවත් වූ ඇය ඒ ඇසුරින් ලබාගත් අත්දැකීම් මෙන්ම පර්යේෂණයන්ද සිය ලේඛනයන්ට පාදක කරගෙන ඇත.


Ground Down by Growth - Tribe, Caste, Class and Inequality in 21st Century India, The Underbelly of the Indian Boom හා In the Shadows of the State: Indigenous Politics, Environmentalism, and Insurgency in Jharkhand, India ඇය විසින් රචිත කෘතීන් අතරට අයත්ය. 

 


මෙම කෘතිය පිළිබඳ අදහස් පළවී ඇති සුවිශේෂී විචාර කීපයක් මෙලෙස හඳුනාගත හැක.


 

‘‘නැක්සල් ගැටුම පිළිබඳ මෙතෙක් ලියැවී ඇති සුවිශේෂී විශ්ලේෂණයක් මෙන්ම සානුකම්පිත බවකින් යුතුව ලියැවී ඇති කෘතියකි‘‘ - Julia Lovell, Guardian


 

‘‘සමාජ විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණයක් හෝ කෘතියක් යුහුසුළුව කියවීම අතිශය අසීරුයි. නමුත්, මේ නිර්භීත කතුවරයා අතිශය දුර්ලභ කරුණු ගැබ්වුණු කෘතියක් රචනා කර තිබෙන අතර පාඨකයා ඇඳබැඳ තබා ගැනීමට සමත් වෙමින්, අතිශය සුන්දර ලෙස මෙන්ම පාඨකයින්ව දැනුම්වත් කිරීමට සමත් වෙමින් මෙය රචනා කොට තිබෙනවා‘‘  - ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජයති ගෝෂ්


 



 

සටහන - වින්ධ්‍යා ගම්ලත්