ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum) යන නමින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා නගයි. කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරි කාර්යාලය සතු ගොඩනැගිලි මේ සඳහා යොදාගෙන ඇති බව මෙම සංගමය අද (27) දිනයේදී නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
එහිදී ඔවුන් චෝදනා කර සිටින්නේ, මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් වැයකරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන මෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන ලියාපදිංචි කරන ලද Railway Museum Gurantee Ltd සමාගම මෙම ජාවාරම කරගෙන යන බවත්ය. මෙය සම්පූර්ණ වශයෙන්ම දුම්රිය ආඥා පනතට පටහැනිව ලියාපදිංචි කරන ලද සමාගමක් වන බවද වැඩිදුරටත් අනාවරණය කර සිටියි.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා Railway Museum Gurantee Ltd සමාගමේ අයිතිකරු බව බවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ‍්‍රිතව ඇති "Rail Tours" කාර්යාලයද මොහු විසින් බදු ගෙන ඇති බවත් අදාළ කොන්ත‍්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් ඔහු තවමත් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැති බවත් මෙම නිවේදනයේ අනාවරණය කර ඇත.
විගණකාධිපතිතුමා සිදුකළ විගණන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම මහා චංචාව හෙළිකර ගැනීමට හැකි වී තිබියදී මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුකළ අයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ නම පාවිච්චි කරමින් සමාගමක් ලියාපදිංචි කිරීමටත්, රාජ්‍ය ආයතනයක නම යොදාගෙන ජාවාරමක් කිරීමටත් මේ ආණ්ඩුව ඉඩ සලසා ඇති බවට අදාළ නිවේදනය මගින් හෙළිකරයි.
Post a Comment