හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර්’ (Commander in the National Order of the Legion of Honour) පාත්‍රවන්නීය. මේ ගෞරව සම්මානයට පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇයයි.
ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිතුමා විසින් මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20 වැනිදා) ප්‍රදානය කෙරිණි. මේ සඳහා විදේශ රටවල නියෝජිතයින් සහභාගී වී සිටි අතර ඒ අතර තානාපතිවරුන්, මැති ඇමැතිවරුන් හා විද්වතුන් ද විය.
වර්තමානයේදී ජාතික සංහිඳියා කාර්යාංශයේ (ONUR) සභාපති ධූරය හොබවන ඇය, 1994 සිට 2005 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ සිව්වන වන විධායක ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය.
හිටපු ජනාධිපතිනිය මේ වනවිට De Madrid සංගමයේ සාමාජිකාවක වශයෙන් ද, Global Leadership Foundation සාමාජිකාවක ලෙස ද, Clinton Global Initiative හි උපදේශිකාවක හා සාමාජික ලෙස ද, South Asian Policy and Research Institute හි සභාපතිනිය ලෙස ද ගෞරව තනතුරු රැසක් දරන්නීය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා ප්‍රංශය අතර පවතින සබඳතා වලට සුවිශේෂී ඉතිහාසයක් හිමිය. දේශපාලන විද්‍යාව පිළිබඳ පැරීසියේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමිකරගත් ඇය 1970 - 1973 දක්වා කාලයේදී ආර්ථීක සංවර්ධනය පිළිබඳ විෂය ධාරාවෙන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කටයුතු සිදුකළේ ද පැරීසියේය.
Post a Comment