ජනබලය නමැති උද්ඝෝෂණය සඳහා වත්මන් ආණ්ඩුව දැක් වූ ප්‍රතිචාරය මෙහිදී අතිශය වැදගත් වනවා පමණක් නොව එය ඉතාම ආකර්ශනීය වේ.
කතු වැකිය
ජනබලය නමින් ඊයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය විපක්ෂය දේශපාලනික වශයෙන් දියාරූ වී ඇති ආකාරය මනාව තේරුම් ගැනීම සඳහා කදිම සාක්ෂියක් සපයන්නේය. එය වෛරයේ සහ භීතියේ ප්රකාශනයක් මිස ජනතාවගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමට සමත් වූ රැළියක් නොවේ. තම අසාර්ථක වීම මූලික කරගෙන විපක්ෂයේ සාමාජිකයින් අතර මතුවිය හැකි මූලික කාරණය වන්නේ, "බැසිල් රාජපක්ෂගේ අඩුව" ඉන් මනාව පෙන්නුම් කළ බව විය හැකිය. බැසිල් මෙන්ම ඔහුගේ බිරිඳ මෙරට අධිකරණය හමුවේ ප්‍රධාන වගඋත්තරකරුවන් වුවද, බැසිල් රාජපක්ෂ දේශපාලනික වශයෙන් උපයාගෙන ඇති කෞශල්‍යය කිසිවෙකුට සුළුවෙන් තැකිය නොහැකිය. එය වෙනමම විමසා බැලිය යුතු කාරණයකි.
ජනබලය නමැති උද්ඝෝෂණය සඳහා වත්මන් ආණ්ඩුව දැක් වූ ප්‍රතිචාරය මෙහිදී අතිශය වැදගත් වනවා පමණක් නොව එය ඉතාම ආකර්ශනීය වේ. ආණ්ඩුවේ පෙර පැවති සූදානම ඉතාම විනයානුකූලව අදාළ කාරණය හමුවේ මුහුණදීමට අවශ්‍යය වටපිටාව නිර්මාණය කළේය. විශේෂයෙන් ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු අධික ලෙස මත්පැන් පානය හේතුවෙන් හතර ගාතෙන් වැටී රෝගාතුර වීම නිසා ඔවුහුගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍යය පහසුකම් සැපයීමට කිසිඳු බාධාවකින් තොරව හැකිවිය. පුවත් වාර්තා වලට අනුව, අයෙකු මියගොස් අසූවකට වඩා වැඩි දෙනෙකු රෝහල් ගත කොට ඇත.
පසුගිය සමයේදී වැලිවේරිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය සහ මාරාන්තික උපවාසයක් කරනවා යැයි කියමින් මෙලොව පමණක් නොව පරලොව මෙන්ම පිටසක්වලද හිනා ගැස්සු වීරවංශ මහතා මහජන සාමය කඩකරන විට පොලිසියේ මැදිහත් වීම වැලැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පොලිස් නිලධාරීන්ට වහාම ඉවත්වන ලෙස බැණ වැදීම ආදී අත්දැකීම් සමග බැලීමේදී ඊයේ පැවති උද්ඝෝෂණයේදී දක්නට ලැබෙන මූලික දේ නම්, වත්මන් ආණ්ඩුව පරිපාලනයේදී පෙන්නුම් කොට ඇති ධනාත්මක ප්‍රගතියයි.
එසේම, විරෝධයේ සංයුතිය ගෙන බැලු විට දක්නට ලැබෙන ඉතාම වැදගත් කාරණයකි. එනම්, රාජපක්ෂ මහතා වටා ඔහුගේ මූලික අනුගාමිකයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ සිටීමත්, ගෝඨාබය රාජපක්ෂගේ කුළුපඟ මිත්‍රයෙකුගේ ලීලාවෙන් අරුන්ධික ප්‍රනාන්දු පෙනී සිටීමත්ය. මොවුහු එතරම් ප්‍රසාදයට පාත්‍ර වූ චරිත නොවේ. ඊට අමතරව තම සිහින ඉටු නොවීම නිසා එහෙ මෙහෙ පනිමින් අවසානයේ යන්නේ කොහේදැයි යන උභතෝකෝටිකයට කොටු වී පැත්ත මාරු වී සිටින 16 කල්ලිය අදාළ උද්ඝෝෂණය අවස්ථාවේදී දක්වනු ලැබූ රඟපෑම තුළින් මෙරට සිංහල දේශපාලනය දිරාගොස් ඇති ආකාරය මනාව පෙන්නුම් කරනු ලබයි.
ඊයේ පැවති උද්ඝෝෂණය මඟින් උගන්වන මූලික පාඩමක් තිබේ. එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම දෙවැනි වාරය සඳහා අවශ්‍යය පරිසරය ක්‍රමයෙන් නිර්මාණය වන බවය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වාසනාවන්තම ජනාධිපතිවරයා ලෙස මෛත්‍රී හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. වර්තමානයේදී, ඔහු වෙනුවන් වීර කාව්‍යය හෝ වෙනයම් වර්ණනා ප්‍රසිද්ධ වීම වෙනුවට ඔහුගේ මූලයන් සහ දිළිඳු පවුල් පරිසරය උග්‍ර ලෙස විවේචනයට බඳුන් කරන බව සැබෑය. එය මේ රටේ ගතිය වේ.
පොඩි මිනිසුන් යැයි සම්මත කරගත් මිනිසුන්ට එරෙහිව අවි අමෝරාගෙන නැගිටින්නේ එම මට්ටමේ සිටින මිනිසුන්ය. ඊට කදිම නිදසුන, අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. මෛත්‍රී හමුවේ පෙනී සිටින්නේද එයයි. ඔහු ඊට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමේදී ඉතාම ඉවසිලිවන්තය. එය යහපත් ගති ගුණයකි.
අදාළ උද්ඝෝෂණයට දින දෙකකට පෙර, හෙතම තම උපන්දිනය සැමරුවේය. නමුත්, ඔහු මහජන මුදල් නාස්ති කරමින් රජෙකුට ඇන්දේ නැත. ඔහු තම ආගමික වත් පිළිවෙත් ඉටු කළේය. සැබෑ නායකයින් හැසිරෙන්නේ මෙසේය. නමුත්, රටේ අවාසනාවට මෙන් මෙරට සංස්කෘතිය විසින් සෑමවිටම ඉල්ලනු ලබන්නේ ඌරෙකු මෙන් මහත සහ ගඳ ගසන ශරීරයකි. එසේම, හැකි තරම් මහජන නිදහසට බධාකොට එය "දේශප්‍රේමයෙන්" වසා ගන්නා චරිතය.
එය ඊයේ උද්ඝෝෂයේදී දොරේ ගලා ගියේය. ඊට සහභාගී වූ අයවලුන්ට ලබා දුන් කෑම පාර්සලය පවා නෙලුම් පොහොට්ටු වලින් සරසා එහි "අහවල් රජතුමාට ජයවේවා" යැයි ලියා තිබුණි. එසේම, බීමතින් මත් වූ අයවලුන් තැනින් තැන වැටී සිටියේ වීදී සුනඛයින් සේය. මතට තිත හඳුන්වා දුන් නායකයෙකුගේ ප්‍රයෝගික දේශපාලනයේ ඇති අවලස්සන එයයි. මින් යළිත් ඔප්පු කරනු ලබන කාරණය නම්, ජනතාව ප්‍රතික්ෂේප කළ අවලස්සන දේශපාලන සංස්කෘතිය යලිත් බලයට ගෙන ඒම සඳහා ජනතාව මුලා කිරීමට දරණ උත්සහයයි.
නමුත් එය බහුතර ජනතාව හමුවේ ක්‍රමිකව දියාරූ වෙමින් පවතින ආකාරය පෙන්වීම සඳහා ඊයේ පැවති රැළිය කදිම සාක්ෂියකි.
කෙසේ වෙතත්, ජනතාව හමුවේ ආණ්ඩුව කෙරෙහි ඇති කලකිරීම සුළුවෙන් තැකිය නොහැකිය. එසේම ජනතාව නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂාවෙන් සිටින බවද අවිවාදාත්මකය. එය ඒකාබද්ධ විපක්ෂය විසින් උසී ගන්වමින් සිටින දේශපාලනය නොවන බව ස්ථීරය.
එනම්, මෙම සමස්ථ සිදුවීම නිවැරදි ලෙස භාවිතා කරන්නේ නම්, මෛත්‍රීට තම දෙවැනි වාරය සාර්ථකව ලබා ගැනීම එතරම් අපහසු නැත. වැදගත් වන්නේ පෙර නායකයින් කළ වැරදි නොකිරීම සහ ජනතවාගේ කැමත්ත ලබා ගැනීම සඳහා උපායමාර්ගික වැඩපිළිවෙලකට වහාම යොමුවීමය.
Post a Comment