| ජේ. ටී. ගමගේ
උපුටා ගැනීම ලංකා විව්ස් වෙබ් අඩවියෙනි
නිලන්ත ඉලංගමුව මහතාගේ දෙවැනි ලිපිය කියවීමෙන් අනතුරුව මෙම සටහන තබන්නේ ඊට පිළිතුරක් ලෙස පමණක් නොවේ. ඒ වෙනුවට සංවාදයට ලක් කළ යුතු හා හැදෑරිය තවත් කරුණු කිහිපයක් සඳහා ආරම්භයක් ලෙසිනි.
එම ලිපියේ ඇති සරල වැරදි කිහිපයක් මුලින් නිවැරදි කළ යුතු යැයි සිතමි. ‘‘... රෝහණ විජේවීර මහතා 71 තමන්ගේ කුළුඳුල් විප්ලවය පටන් ගැනීමට මොහොතකට පෙර කේන්ද්‍රය බලා සුභ මුහුර්තයක් බැලීමට වටිනා බවට සිදු කරනු ලැබුවේය යනුවෙන් ඔහු විසින් කළේය කියන පාපෝච්ඡාරණය’’ යනුවෙන් ඉලංගමුව මහතාගේ ලිපියේ සඳහන්ව ඇත. එය ඉතාම සාවද්‍ය තොරතුරක් වන අතර එවැනි සිද්ධියක් පිළිබඳ කිසිඳු ඓතිහාසික සාක්ෂියක් නැත. එපමණක් නොවේ, රෝහණ විජේවීර මහතා 1971 මාර්තු 13 වැනිදා අත්අඩංගුවට ගැණිනි. ඒ වන විට අපේ‍්‍රල් 5 වැනිදා පහරදීමට තීරණය කර තිබුණේ නැත. රෝහණ විජේවීර මහතා සිර ගෙදර සිට එවන ලද පණිවිඩයක් මගින් පහර දීමක් සිදු නොකරන ලෙස දන්වා තිබූ බව සඳහන්ය. පහරදීමේ තීරණය ගන්නේ එළියේ සිටි ජවිපෙ නායකයින් විසිනි. පහරදීම සඳහා ගනු ලැබූ තීරණයට විජේවීරගේ සම්බන්ධයක් නැත. එහෙත් තමන්ට රාජ්‍ය නායකයා වීමේ වාසනාව ඇත්දැයි දැන ගැනීමට ලොකු අතුල නම් කේන්දර බැලූ බව පැවසේ. ඔහු 71 නඩුවේ රජයේ සාක්ෂිකාරයකු වූ බවත් මෑත කාලයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම්බන්ධවව කටයුතු කළ බවත් ප‍්‍රකට කරුණුය.
දෙවැනි කරුණ මා මුල් ලිපියේදීද සඳහන් කළ පරිදිම ගැටලූ දෙස මතුපිටින් බැලීම නිසා ඇති වූවකි. කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමාන ලෙස දකින්නේ ඒ නිසා විය යුතුය.
කොටි සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමාන කිරීමට විරුද්ධ වන්නේ හුදු රුචිකත්වය පිළිබඳ ගැටලූවක් නිසා නොවේ. න්‍යාය හා භාවිතාව අනුවම ඒවා වර්ග දෙකක ව්‍යාපාර වේ. මතු පිටින් සරලව බලන කෙනෙකුට පමණක් ඒවායේ අසමානකම් නොපෙනන අතර ගැඹුරට තබන සෑම පියවරක් පාසාම අත්දකින්නට ලැබෙන්නේ අසමානකම් හා ප‍්‍රතිවිරෝධයන්ය.
‘ජවිපෙ මෙන්ම කොටි සංවිධානයද එකම අරමුණක් මූලික කර ගනිමින්, එනම් විමුක්තිය මූලික කර ගනිමින් ඇති වූ සංවිධාන වේ’ යන්න සරල මතුපිට කියවීමකි. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික සංවිධානයකි. කොටි සංවිධානය දක්ෂිණාංශික සංවිධානයකි. ජවිපෙ සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් අරගල කළේය. කොටි සංවිධානය පවතින ධනවාදී රාමුව තුළම බිම් කෑල්ලක් මායිම් ගසා වෙන් කර ගැනීමට අරගල කළේය. මේ ආදී වශයෙන් මූලික වෙනස්කම්වල සිට සන්නද්ධ අරගලයේ පරාජයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීමට දක්වන ලද විභවයද ඇතුළත්ව (මේ කරුණ සුමිත් චාමින්ද මහතා විසින් 2011.10.23 දින රාවය පුවත්පතට ‘ගුඞ්බායි විජේවීර’ යන ශීර්ෂය යටතේ ලියන ලද ලිපියෙන් මනාව විග‍්‍රහ කොට තිබේ) සංවිධාන දෙකේ බරපතළ වෙනස්කම් ගණනාවක් ඇත. එම වෙනස්කම් විසින් කොටි සංවිධානයත් ජවිපෙත් වෙනත් වර්ගවල සංවිධාන දෙකක් බවට පත් කර ඇත. මෙම මූලික වෙනස්කම් නොසලකා හැරීම දේශපාලනය වරද්දා ගැනීමකි.
බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදයෙන් දේශපාලන නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ධනපති නායකයින්ගේ සහයෝගයෙන් ගොඩනැගුණු ව්‍යාපාර ආරම්භයේදීම බිඳ වැටීමත්, ඉන් පසුව ඔවුන් ජාතිකත්ව පදනමින් සංවිධානය වීමත් එසේම ශ‍්‍රී ලංකාවට ධනපති ක‍්‍රමය පැමිණි උත්තරාරෝපිත ස්වරූපය හා ධනපති ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමේදී දක්නට ලැබුණු පසුගාමී ස්වභාවයත්, 1948න් පසු රට පාලනය කළ පාලකයින්ගේ අවස්ථාවාදී වැරදි තීරණත්, දෙමළ නායකයින්ගේ හැසිරීමත් මත ජාතිකත්වයන් අතර විරසකය නොනැසීම පැවතීම හා වර්ධනයවීම සිදු විය. ඒ නිසා පොදු සමාජ ආර්ථික පීඩනයට ජාතිභේදයකින් තොරව සියලූ දෙනාම මුහුණ දෙන අතරේ දෙමළ බස කතා කරන ජනතාව එසේ වීම නිසාම මුහුණ දුන් විශේෂ පීඩනයක්ද තිබිණි. එම පීඩනයට එරෙහිව අරගල කිරීමේ, සටන් කිරීමේ යුක්තිසහගත අයිතියක් දෙමළ ජනතාවට තිබේ. එම අයිතියට අප ගරු කළ යුතුවා පමණක් නොව සහයෝගයද දැක්විය යුතුය.
එහෙත් කොටි සංවිධානය මගින් ප‍්‍රකාශයට පත් වූයේ දෙමළ ජනතාවගේ පීඩනයට එරෙහි සැබෑ අරගලයද යන්න ගැටලූ සහගතය. උතුරේ අරගලකාරී දෙමළ ජනතාව සමග සම්මුතියක් ගොඩනගා ගැනීමට දකුණේ වමේ ව්‍යාපාරය අසමත් වූ අතර ක‍්‍රමානුකූලව උතුරේ ජනතාවගේ අරගලය ඉන්දියානු කලාපීය වුවමනාවේත්, ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයේ කලාපීය වුවමනාවේත් අතකොලූවක් බවට පත් වනු දක්නට ලැබිණි. දෙමළ තරුණ තරුණියන්ට රතු ධජයේ සෙවන නොලැබෙන විට එම හිස් තැන පුරවමින් මතු වූයේ සුළුජාතියේ ජාතිවාදයයි.
වෙනම රාජ්‍යයක් දිනා ගන්නා දිශාවට පීඩිත දෙමළ ජනයාගේ සටන් පාඨ හැඩ ගැසෙන විට දෙමළ නායකයින් මරා දමමින් කොටි සංවිධානය සිය සන්නද්ධ ආධිපත්‍ය දියත් කරමින් බලය තහවුරු කර ගත්තේය. කොටි සංවිධානයේ සන්නද්ධ බලය හමුවේ වැළලී ගිය සැබෑ පීඩිත දෙමළ හඬ දැන් යළිත් ඔසවා තැබිය යුතුය. එය වමේ ව්‍යාපාරය සමග ඒකාබද්ධ කළ යුතුය.
ඉලංගමුව මහතා පළමු නිගමනයේ සිටිමින් තවත් නිගමනයක් ඉදිරිපත් කර තිබේ. ‘‘මේ ඔස්සේ ජවිපෙ කැරලිකාරී කණ්ඩායමේ අය ‘සම්මුතිකාමීත්වයෙන්’ අපගමනය වූ යමක් ගැන සෙවීම ගැන විමසා බැලීම වටී. එය සරල වශයෙන් කොටි සංවිධානය වසර තිහක් තිස්සේ ගෙන ගිය අරගලය හා සමරූපී වේ’’ යනුවෙන් ඔහු කරන සඳහන සැබවින්ම සරල කියවීමකි.
මගේ අදහස නම් ඇතැම් අවස්ථා කිහිපයකදී පමණක් පෙනුමෙන් සමරූපී යැයි හැඟුනත් හරයෙන් සමරූපී වනවා වෙනුවට අසමරූපී වන බවයි. වෙනම භූමියක් මත පදනම් වෙමින්, විදේශගත දෙමළ ජනතාවකගේ සහයෝගයත්, ඉන්දියාවේ හා අධිරාජ්‍යවාදයේ සහයෝගයත් සහිතව කොටි සංවිධානයට වසර 30ක යුද්ධයක් කර ගෙන යාමට හැකි විය. අවසන් මොහොතේ සියල්ලන්ම ජයග‍්‍රාහකයින්ගේ පැත්ත නොගත්තේ නම් කොටි සංවිධානය පරාජය කිරීම තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ වසර තුනකට ආසන්න කාලයක් රජයට එරෙහි යුද්ධයක් පවත්වාගෙන පවත්වාගෙන ගිය අතර ඊට බලපෑ සුවිශේෂී සාධක හමුවේ පරාජයට පත් විය. කොටි සංවිධානයට අවශ්‍ය වූයේ එක් භූමි සීමාවක බලය තහවුරු කර ගැනීම නිසා ඔවුන් එම භූමිය මත පදනම් විය. ජවිපෙ එබඳු ක‍්‍රියාකාරීත්වයක් වෙත ගමන් නොකළේය. මගේ විශ්වාසය නම් 87-89 වකවානුවේ සැබවින්ම සිදු වූයේ ජවිපෙ විසින් තමන්ට එරෙහිව ආණ්ඩුවෙන් එල්ල වූ මර්දනයට ප‍්‍රතිචාර දක්වනු ලැබීම මිස රාජ්‍ය බලය අත්කර ගැනීමේ අරමුණු සහගත සටනක් නොවේ. එම සටන තුළ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අදහසක් නොතිබූ බව මින් අදහස් වන්නේ නැත.
පවතින ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය ධනපති පන්තියේ වුවමනාවන් ඉටු කිරීම වෙනුවෙන් ගොඩනැගී තිබේ. එහි දේශපාලන බලය ධනපති පන්තිය සතුව පවතී. ධනවාදී නිෂ්පාදනයේ ප‍්‍රධාන අතුරු ඵල ලෙස දුප්පත් කම්කරුවන් හා සමාජ පීඩනය වැඩි වැඩියෙන් ගොඩගැසේ. ධනපති ක‍්‍රමය විසින් තම මිනීවල කණින්නන්ද දිනපතා බිහි කරනු ලබන බව මාක්ස් පැවැසුවේ මේ නිසාය.
මෙම ධනපති සමාජක‍්‍රමයට එරෙහිව පීඩිත පන්තියේ දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ සමාජවාදය උදෙසා අරගලයක් ඇතිවේ. මෙකී අරගලය අත්‍යවශ්‍යයෙන්ම ධනපති ක‍්‍රමයත් එහි අයිතිකරුවන් වන ධනපති පන්තියටත් එරෙහි එකක්වීම වැළැක්විය නොහැකිය. මෙම අරගලයේ ඉලක්කය ධනපති ක‍්‍රමය පෙරළා දැමීමත් ධනපති පන්තිය සතුව ඇති දේශපාලන බලය නිර්ධන පන්තිය අතට ගැනීමත්ය. ඒ නිසා තර්ක ඥානයට වුව වැටහෙන සත්‍යයක් ඇත. මෙම අරගලය කිසිසේත්ම ධනපති පන්තිය සමග, ධනපති ආණ්ඩු සමග සම්මුතියකින් කළ හැකි නොවේ.
ආණ්ඩු බලය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන යන සටනට සන්ධාන ආණ්ඩුව සමග, එහි නායකයින් සමග සම්මුතියක් තිබිය හැකිය. එක් කණ්ඩායමක් ජනතාවගේ අප‍්‍රසාදයට පත් වූ කල ඔවුන් තාවකාලිකව විශ‍්‍රම ගන්වා අනෙක් කණ්ඩායම බලයට ගෙන ඒම සඳහා ධනපති පන්තිය තුළද සම්මුතියක් තිබිය හැකිය. මේ බල හුවමාරුවේදී ධනපති පන්තිය වෙතින් බලය ඉවත් වන්නේ නැත. සිදු වන්නේ එම බලය තාවකාලිකව හොබවන මුහුණු වෙනස්වීම පමණි.
ප‍්‍රතිපත්තිමය කරුණු අතින් ගත්තද එක්සත් ජාතික පක්ෂයේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේත් වෙනසක් නැත. රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙනා ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන පරාජය කිරීමට 2004 දී පෙළ ගැසුණු ශ‍්‍රී ලනිප නායකයෝම අද එය ක‍්‍රියාත්මක කරමින් සිටිති. ඒ නිසා තාවකාලික දේශපාලන බලය සම්බන්ධ කාරණයේදී හැර අනෙක් සෑම තැනකදීම ඔවුන් අතර ඇත්තේ සම්මුතියකි.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින්නේ කවරක් වෙනුවෙන්ද? මෑත භාවිතාව තුළ ප‍්‍රශ්නකාරී වුවත් රෝහණ විජේවීර මහතා ජවිපෙ බිහි කළේ ධනපති පන්තියෙන් බලය උදුරා ගැනීමටය. ඒ තාවකාලික දේශපාලන බලය නොව රාජ්‍ය බලයයි. බලය ගැනීමෙන් අනතුරුව ගොඩනැගෙන්නේ ධනපති ක‍්‍රමය වෙනුවට සමාජවාදී ක‍්‍රමයකි. ඒ නිසා රටේ නිෂ්පාදන ක‍්‍රමය පූර්ණ වෙනසකට ලක් වේ. නිෂ්පාදනයෙහි මෙන්ම එහි ඵල අත් කර ගැනීමද පූර්ණ වෙනසකට ලක් වේ. එහි ඇත්තේ දේශපාලන බලය අත් කර ගැනීමේ පමණක් නොව ප‍්‍රතිපත්තිවල සිට සෑම දෙයකම ප‍්‍රති විරෝධයකි. අසම්මුතියකි. ධනපති පන්තියත් සමග සම්මුතියකින්, ධනපති ආණ්ඩු සමග සම්මුතියකින් එම වෙනස කළ හැකි නොවේ.
කොටි සංවිධානය හා ශ‍්‍රී ලංකා රජය අතර පැවතියේ එවැනි අසම්මුතියක් නොවේ. කොටි සංවිධානය පෙනී සිටියේ සමාජක‍්‍රමය වෙනස් කිරීමට නොවේ. එහෙත් ඔවුහු වර්ග කිලෝමීටර් 65,000කට ආසන්න ශ‍්‍රී ලංකා භූමියෙන් කොටසක් වෙන් කර ජාතිවාදී පදනම මත ගොඩනැගෙන වෙනම ඊළමක් වෙනුවෙන් සටන් වැදුනහ. කොටි සංවිධානය හා රජය අතර පැවති ප‍්‍රති විරෝධය එයයි. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව හමුදාව යොද වන විටදීත් කොටි සංවිධානයට එරෙහිව හමුදාව යොදවනවිටදීත් පත්තු වූයේ එකම වෙඩි උණ්ඩ වුවත් එකම බෝම්බ වුවත් එම අණදීම් පිටුපස පැවති දේශපාලනයේ වෙනස එයයි.
එහෙත් වමේ ව්‍යාපාරයකට සම්මුතියක් තිබේ. ඒ සම්මුතිය ඇත්තේ ධනපති ක‍්‍රමය විසින් පීඩාවට පත් කරනු ලබන පීඩිත ජනතාව සමගය. ධනපති නිෂ්පාදනය තුළ මනුෂ්‍යත්වය පවා අහිමි කරන ලද මිනිසුන් සමග වමේ ව්‍යාපාරයට සම්මුතියක් තිබේ. ඒ සම්මුතිය අනෙකක් නොවෙ, සූරාකෑම තව තවත් තීව‍්‍ර කිරීමට එක් එක් ධනපතියාත් ධනපති පන්තියේ එක් එක් දේශපාලන කණ්ඩායමුත් අතර ඇති සම්මුතියට එරෙහිව පීඩනයෙන් මිදීම සඳහා, සූරාකෑමෙන් මිදීම සඳහා අරගල කිරීමට ඇති කර ගනු ලබන සම්මුතියයි. අරගලය සඳහා නායකත්වය දීමේ වගකීම බාර ගන්නා පන්ති ව්‍යාපාරයත් එම නායකත්වය පිළිගනිමින්, ඒ වටා පෙළ ගැසෙමින්, අරගල කරන පීඩිත ජනතාවත් අතර වන සම්මුතියයි. එකී සම්මුතිය අනිවාර්යයක් ලෙසම පවතින ක‍්‍රමයේ ආරක්ෂකයින් සමග වන අසම්මුතියේ පදනම මත ගොඩනැගෙන්නක් බව පැහැදිලිය.
මේ අනුව මෙකී අසම්මුතිය ඉලංගමුව මහතා ප‍්‍රශ්න කරන ආකාරයේ ‘ඉන්ද්‍රජාලිකයක් ජනතාව හමුවේ ප‍්‍රාදූර්භූත වන උටෝපියානු දේශපාලන චින්තනයක්’ නොවේ. එමෙන්ම ‘සතුරාට පාරාදීසයක් නිර්මාණය කර දුන් කැරලි දෙකකට පසු යළිත් ඔවුන් කියන සම්මුතියෙන් මිදුණු දේශපාලනය එවැනිම කටයුත්තක්’ වන්නේ ද නැත. තත්වයන් සැලකිල්ලට නොගෙන එවැනි නිගමන ඉදිරිපත් කිරීම නිවැරදි වන්නේ නැත.
නිර්ධන පන්ති දේශපාලන පක්ෂයක් සිදු කරන්නේ පාලක පන්තියට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමයි. ක‍්‍රම විරෝධී දේශපාලන දැනුම ජනතාව අතරට ගෙන යාමයි. ඒ කිසියම් වෛරී හැඟීමක් නිසා නොවේ. ධනපති ක‍්‍රමය යටතේ පීඩාවට පත්වන බහුතර ජනතාවට එම පීඩාවෙන් මිදීම සඳහා මාවත වැටී ඇත්තේ ධනපති ක‍්‍රමය පෙරළා දමා සමාජවාදය ගොඩනැගීම හරහා වන නිසාය. බලය හුවමාරු වන ආකාරය ගැන අනාවැකි කිව හැකි නොවේ. ‘සන්නද්ධ නැගිටීම්’ ඉන් එක් ආකාරයක් පමණි. අනෙක් අතට සන්නද්ධ නැගිටීමක් සිදු වන්නේම, ධනපති පන්තිය තම බලය රැක ගැනීම සඳහා සන්නද්ධ හමුදාව යොදවන්නේ නම් පමණි. එසේ නොවන විට ආයුධ පත්තු කිරීම අවශ්‍ය වන්නේ කුමකටද?
එහෙත් ඉතිහාසයේ එක් යුගයක වමේ ව්‍යාපාර බොහෝ ගණනක් ජයග‍්‍රාහී, එමෙන්ම පරාජිත සන්නද්ධ අරගලවල නියැලී සිටි බව සත්‍යකි. එය එසේ වූ පමණින් වෙනස් සමාජ තත්වයන් යටතේ වෙනස් ආකෘතීන් පැන නැගීමේ හැකියාව නතර වන්නේ නැත. අනෙක් අතට ධනපති පන්තිය කැමැත්තෙන් බලය අත් හරින්නේ නැතැයි සිතා ඊට එරෙහිව ජනතාව සංවිධානය කිරීමෙන් හා දැනුවත් කිරීමෙන් අත්මිදී සිටීමට වමේ ව්‍යාපාරයකට අයිතියක් නැත. එබදු සම්මුතිකාමීත්වයකට වමේ ව්‍යාපාරය වැටෙන ඕනෑම මොහොතක එහි වාසිය ගන්නේ ධනපති පන්තියයි. මුළුමහත් ඉතිහාසය පුරාම යළි යළිත් සනාථ කර ඇති සත්‍යය එයයි. අනෙක් අතට එබඳු සම්මුතිකාමීත්වයක් ඉල්ලා සිටින්නන් කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන ලෙස වූ ආයාචනය නිර්ධන පන්ති ව්‍යාපාරය වෙත ඉදිරිපත් කිරීමයි. ඊට ඇහුම්කන් දිය යුතු නැත.
වීරවංශ මහතා සහ ලාල් කාන්ත මහතා මිය ගිය තරුණ තරුණියන් ගැන සරලව කතා කිරීමක් ගැන ඉලංගමුව මහතා සඳහන් කර ඇතත් ඔවුන් සඳහන් කරන ලද්දේ කුමක්දැයි දක්වා නැත. ඔවුන් ගැන සරලව කතා කළ නොහැකිය. ඔවුහු වෙඩි කා මිය ගියවුන් නොවෙති. කෙසේ වෙතත් රෝහණ විජේවීර මහතා පිළිබඳව මෙන්ම ජවිපෙ ඉතිහාසය ගැනද සමාලෝචනයද, ආපසු හැරී බැලීමක යෙදිය යුතු බවට ඉලංගමුව මහතා කරන යෝජනාව බැහැර නොකළ යුත්තකි. එපමණක් නොව, කොටි සංවිධානය පරාජය කිරීමද කොටි නායකයින් ඝාතනය කිරිමද ඇතුළත්ව ජාතික ගැටලූවේ ඉතිහාසය හා වර්තමාන තත්වය ගැනත් මුළුමහත් සමාජය විසින්ම යළි කියවා බැලිය යුතුය. ඉදිරියට ගෙන යා යුත්තේ ජයග‍්‍රහණ මිස වැරදි නොවේ.
සමාජවාදය යනු කුමක්ද, සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටුනේ ඇයිද යන ප‍්‍රශ්නවලට පිළිතුරු මේ ලිපිය තුළ අඩංගු නොකරන්නේ අන්තර් ජාලයේ පළ කරන ලිපි ඉතා දීර්ඝවීමෙන් ඒවා කියවන්නන්ට මතු වන ප‍්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ය. එම ප‍්‍රශ්න විමසා බලන්නේ නැතිව ඉලංගමුව මහතා මතු කර ඇති ගැටලූවලට සම්පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැත. ඒ නිසා ඊට ඉඩ විවර කර ගනිමින් මෙම ලිපිය අවසන් කරමි.
Post a Comment