එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, යුක්‍රේනය හා තුන්වන ලෝක යුද්ධයේ තර්ජනය

එලඹ සිටින කෙනෙකු විසින්ම නැඟිය යුතු ප්‍රශ්නය වන්නේ, අප න්‍යෂ්ටික යුද්ධයක අද්දර සිටින්නේ ද යන්නයි. 

එක්සත් ජනපදය පිටුබලය දුන් යුක්‍රේන කුමන්ත්‍රනය, 1962 කියුබානු මිසයිල් අර්බුදයෙන් පසුව ඇවිල ගිය දරුනුම ජාත්‍යන්තර අර්බුදය විය. ෆැසිස්ට් මිලිෂියාවන් විසින් කුලුගන්වන ලද කුමන්ත්‍රනයෙන් පසුව රුසියානු විරෝධී යුක්‍රේන පාලන තන්ත්‍රයක් බලයට පත්විම කෙරෙහි දැක්වූ ප්‍රතිචාරයක් වශයෙන් ක්‍රිමියාවට හමුදා මැදිහත් කිරීම පිලිබඳව ඇමරිකානු හා යුරෝපීය නිලධාරීන් රුසියාව හෙලාදැකීමට පටන්ගෙන ඇත.

මොස්කෝව සමග ගැටුම පතුරුවා හැරීමට ඔබාමා පාලනය අදිටන්කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ. සියලු රුසියානු හමුදා ක්‍රිමියාවෙන් ඉවත්කරගත යුතු බවත්, කියෙව්හි අටවා තිබෙන එක්සත් ජනපද-නේටෝ රූකඩ තන්ත්‍රය ක්‍රෙම්ලිනය විසින් මුලුමනින්ම පිලිගත යුතු බවත් කියා සිටිමින් එජ, රුසියාව පූර්න වශයෙන් හුදෙකලා කිරීම අරමුනු කරගත් සම්බාධක පැනවීම සඳහා කැඳවුම් කරයි. 

04දා කියෙව්හි පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තර්ජනාත්මකව කියා සිටියේ, එජ “රුසියාව දේශපාලනිකව, රාජ්‍ය තාන්ත්‍රිකව හා ආර්ථිකව හුදෙකලා කිරීමට” බලාපොරොත්තු වන බවයි. ඔහුගේ ප්‍රකාශ, ප්‍රමුඛ ඇමෙරිකානු දේශපාලඥයින්ගේ යුදවාදී තර්ජන මගින් ප්‍රතිරාවය විය. 

රුසියාව හා ජෝර්ජියාව අතර 2008 වසරේ ඇතිවූ යුද්ධයට එජ මැදිහත් නොවීම පිලිබඳව, සෙනේට් සභාව තුලදී යලිත් සිය සන්තාපය පල කල සෙනේට් සභික ජෝන් මැකේන්, රුසියානු විරෝධී හඬ මතු කලේය. “පැරනි රුසියාවේ සෝවියට් දෙපිටකාට්ටුව” පිලිබඳව පුටින්ට චෝදනා කල ඔහු, “මෝල්ඩෝවියාව හා ජොර්ජියාව නේටෝව තුලට ගැනීමේ ඉක්මන් මගක්” සඳහා කැඳවුම් කලේය. 

යුක්‍රේනියානු කුමන්ත්‍රනය පිලිබඳව රුසියාව දැක්වූ ප්‍රතිචාරය කෙරෙහි, මායම්වූ ඔබාමා පාලනයේ කම්පාව හා සංත්‍රාසය පල කෙරින. මෙය අන් කිසිවක් නොව ප්‍රෝඩාකාරී හා නරුම මවාපෑමකි. කියෙව්හි එජ හා නේටෝව විසින් හසුරුවනු ලබන රුසියානු විරෝධී රූකඩ තන්ත්‍රයක් ඇටවීම, රුසියාව වෙත ද විහිද යන, නැඟෙනහිර යුරෝපයේ භූ-මූලෝපායික වාතාවරනය දැවැන්ත ලෙස වෙනස් කරනු ඇති බව රුසියානු මිලිටරිය හා පුටින් විසින් දැකගනු ඇති බව ඔවුහු හොඳාකාරවම දැන සිටිති. 

කියෙව්හි කුමන්ත්‍රනය කෙරෙහි පුටින් ප්‍රතිචාර දක්වනු ඇති බව, ධවල මන්දිරය, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය කල්තියා නොදුටු බව සිතාගැනීමටවත් නොහැකිය. රුසියාවට, මැද පෙරදිග වෙත ඇති එකම පිවිසුම් මඟ ද රුසියානු කලු මුහුදු නාවික බලඇනි ස්ථානගතකර ඇති තැන හා 1956 වන තෙක් රුසියාවේ කොටසක්ව පැවති ක්‍රිමියාවේ පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා එරට සිය මිලිටරිය යොදවනු ඇති බවට වොෂින්ටනයට හාංකවිසියක්වත් නොතිබුනේ යයි කිසිවෙකුටත් බැරෑරුම්ව විශ්වාස කල හැකි ද? නොඑසේ නම්, විදේශිකයින් නුරුස්නා ජාතිකවාදීන් ඉමහත් ආනුභාවයක් පතුරුවාගෙන සිටින, රුසියාවේ දේශසීමාව මත මිසයිල් වලින් සන්නද්ධ නේටෝ හමුදාවන්ගේ නව පෙරටු කඳවුරක් බවට රට පරිවර්තනය කරන, අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් යුක්‍රේනය තුල අටවද්දී, සරලවම රුසියාව තම අනෙක් කම්මුල ද හරවනු ඇතැයි වොෂින්ටනය සිතුවා වද් ද?

රුසියාවට එරෙහිව දැන් සිදුවන කඩාපැනීම්වල සැබෑ කාරනාවන්ට, යුක්‍රේනයේ “ජාතික ස්වෛරීත්වය” හෝ ජාත්‍යන්තර නීතියේ පවිත්‍රතාව සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත. මොස්කෝවේ සීමිත ප්‍රතිරෝධයක් පමනක් තිබියදී මැද පෙරදිග, නැඟෙනහිර යුරෝපය හා ආසියාව පුරා වොෂින්ටනයේ ආනුභාවය පතුරුවා ගැනීමේ ඇමරිකානු ව්‍යායාමයන් හමුවේ මෑත වසරවල එජ-රුසියානු ආතතීන් වර්ධනය වී ඇත. 

සිරියාවේ අසාද් තන්ත්‍රයට රුසියාවෙන් ලැබෙන සහයෝගය හමුවේ එක්සත් ජනපදයට, සෘජු මිලිටරි මැදිහත්වීමක් පිලිබඳ සිය සැලසුම් අකුලාගෙන තාවකාලිකව පසු බැසීමට පසුගිය සැප්තැම්බරයේදී බල කෙරුනි. ඇමරිකානු පාලක පන්තියට සිය අධිරාජ්‍යවාදී ක්‍රියාන්විතයන් තුලට කෙරෙන ඕනෑම මැදිහත්වීමක් ඉවසිය නොහැක. රුසියාව වඩා පහසුවෙන් දිරවාගත හැකි කැබලි වලට කපා දැමීම ද ඇතුලුව සමස්ත ලෝකයම සිය අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි ප්‍රතිව්‍යුහකරනය කිරීමේ සැලසුම් එජ අධිරාජ්‍යවාදය සතුව ඇත. 

එජ විදෙස් පිලිවෙත කෙරෙහි වන උත්සුකයන්, බාහිර අරමුනුවලට පමනක් සීමා නොවේ. අභ්‍යන්තර බලපෑම් ද ඊට අන්තර්ගතය. රටේ සමාජ හා දේශපාලන ව්‍යුහය කෙතරම් බිඳෙන සුලු ද හා පුපුරන සුලු ප්‍රතිවිරෝධයන්ගෙන් ගහන ද යත්, ඇමරිකානු ජනතාව නොමඟ යවා පීලිපැන්නවීම පිනිස පාලක පන්තියට නිමක් නැති මිලිටරි මැදිහත්වීම් හා යුද්ධ අවශ්‍යව ඇත. 

වසර පහකටත් වඩා කාලයක් දිග්ගැස්සී යන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ එක්සත් ජනපද පාලක පැලැන්තිය, රට තුල පුලුල්ව පැතිරුනු නොසන්සුන්තාව හා අසහනය පිලිබඳව මනාව දැනුවත්ය. සමාජ අසමානතාවයේ යෝධ මට්ටම පිලිබඳව වර්ධනය වන මහජන වැටහීමක් හා කෝපයක් පවතී. නිමක් නැති යුද්ධ මාලාව අරමුනුකොට ඇත්තේ, අභ්‍යන්තර සමාජ පීඩනයන් පිටතට මුදාහැරීමට ඉඩ සලසා ගැනීමය. 

අසීමිත අධිරාජ්‍යවාදී විජිගීෂාවේ ද සිය රට තුල මහජන කැඹීම පිලිබඳ භීතිකාවේ ද විෂ සහගත අන්තර් ක‍්‍රියාව පිලිබඳව මහත් සේ බියට පත්ව සිටින එජ පාලක පැලැන්තිය තල්ලූවී සිටින්නේ න්‍යෂ්ටික යුද්ධයක අවදානමට ලෝකය ඇද දැමීමට ද? මෙම ප‍්‍රශ්නයට පිලිතුර එජ ආන්ඩුවේ කටයුතු මගින් ම සපයනු ලැබ ඇත.

ඔබාමා පාලනාධිකාරයේ ක්ෂනික අරමුනු කවරක් වුවත්, අධිරාජ්‍යවාදී ගතිකයට එහිම තර්කනයක් තිබේ. එජ යුකේ‍්‍රනය තුල අවුලූවා තිබෙන තත්වය මගින්, එරට තුල සිදුවෙමින් පවත්නා වූ ගනන් නැති විවිධ ක‍්‍රියාකාරකම් වලින් එකකට, දැනුවත්ව හෝ නොදැනුවත්ව, පාලනය කරගත නොහැකි සිද්ධී ජාලයක් අවුලූවිය හැකිය.

මෙම සුවිශේෂී අර්බුදය විසඳා ගත්ත ද තවත් එවැන්නක් පැන නැගීමට වැඩි කල් නොයනු ඇත. ඉක්මනින් හෝ පසුව මෙම අර්බුදයන්ගෙන් එකක්, න්‍යෂ්ටික ව්‍යසනයක් අවුලූවනු ඇත. 

කම්කරුවන්ගේ, තරුනයින්ගේ හා යුද්ධයට විරුද්ධත්වය දක්වන සියල්ලන්ගේම හඬ බලවත්ව නැගිය යුතුය! විසි එක්වන සියවස තුල පවත්නා තත්වයට ප‍්‍රගාඪ ලෙසින් අදාල වන විසිවන සියවසේ ඉතිහාසය පිලිබඳ පාඩම් සනාථ කරන්නේ, යුද්ධය නතරකල හැකි එකම මග වනාහි ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ක‍්‍රියාව තුලින් පමනක් බවයි.

බැරී ග්‍රේ හා ඩේවිඩ් නෝර්ත්