නහන රුපුන් නහමින් යමි ඉදිරිය ට මහණකමත් බණ දහමත් එයයි මට

| උපුල් ජෝසෆ් ප්‍රනාන්දු

ඉතිහාසය පුරා ශ්‍රී  ලංකාවේ ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් මතුවන ගැටලුසහගත අවස්ථාවන්වලදී ඒවා සමනය කර ගැනීමට අවශ්‍ය අනුශාසනා සහ මාර්ගෝපදේශය ලබාදීමේ ඓතිහාසික උරුමය පැවරී පැවතියේ මල්වතු - අස්ගිරි උභය මහ විහාරයේ මහ සංඝරත්නය වෙතය...
මේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් විසින් මහින්දට යවනු ලැබූ ලිපියේ මහින්දගේත් ඉහමොළ රත් කරන වචන ටිකය. මේ වචනවලින් මහනායකහිමිවරුන් තමන් වහන්සේලාට පැවරී තිබෙන ඓතිහාසික උරුමය ගැන මතක් කිරීමක් කරනු ලැබ ඇත.

මතක් කරන්නේ ආණ්ඩුවට අමතක වෙලා යැයි මහානායක හිමිවරු හිතන නිසාද...?”
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ආණ්ඩුවට වඩා හොඳට මහනායකහිමිවරු ජිනීවා යෝජනාවේ අන්තරාය වටහාගෙන තිබෙන බව පැහැදිලිය. ජිනීවා යෝජනාවලින් රට මහා විපතකට පත්වෙන්න යන බව උන්වහන්සේලාට දැනී ඇති බව පැහැදිලිය.

මේ නිදහසින් පසු ලංකාව මුහුණ දෙන්න යන ලොකුම ජාත්‍යන්තර තර්ජනයය. නිදහසින් පසු මෙවැනි තර්ජනයකට ලංකාව මුහුණ දුන්නේ 1987දීය. ඒ ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කොට ඉන්දීය හමුදාව මෙරටට ගෙන්වූ අවස්ථාවය. ඒ තර්ජනය තිබුණේ අසල්වැසි ඉන්දියාවෙන්ය. ඒත් ජිනීවා තර්ජනය එන්නේ ලොව ප්‍රබලතම රට වන ඇමෙරිකාව සහ බටහිර රටවල් ඇතුළුව රටවල් ගණනාවක ඡන්දය ප්‍රකාශ කොට ලබාගන්නා වරමකිනි. මේ වරමට ලයිසන්එකක් කියන්නත් පුළුවන. මේ ලයිසන්එක ගත්තේ ලංකා ආණ්ඩුවට ඉහළින් ලංකාව ගැන තීන්දු තීරණ ගන්නටය.
1983 සිට 2009 තෙක් ලංකාව තිබුණේ කොටි කටේය. හැබැයි ඒ රට ඇතුළේය. දැන් ලංකාව තියෙන්නේ යූ.එන්. කටෙහිය.
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයුවා වගේ...

මේ අපේ රටේ මිනිසුන්ට හොඳට කටට හුරු පුරුදු කියමනකි. අද ජිනීවාවල ලංකාව ගිනි ගනිද්දී ආණ්ඩුව ඡන්ද වීණාව වාදනය කරමින් සිටී. 
ලෝකයේ වෙනත් රටක් නම් මේ වගේ වේලාවල ඡන්ද තියන්නේ නැත. කරන්නේ මුළු රටේම ආණ්ඩු යාන්ත්‍රණය විදේශ අමාත්‍යංශයට අනුබද්ධ කොට ලොව දිනන මහා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමය. ඒත් අද මේ ආණ්ඩුව ආණ්ඩු යාන්ත්‍රණය පාවිච්චි කරන්නේ වැදගම්මකට නැති පළාත් සභා දෙකක් දිනා ගන්නටය.
නැව ගිලුනත් බෑන් චූන්...

මේ ආණ්ඩුවට ගැළපෙන ඊළඟ කියමනය. ඡන්දයකින් කරන්නේ රට බෙදන එකය. මේ රට බෙදිය යුතු වේලාවක් නොව රට එකතු කළ යුතු වේලාවකි.
මහානායක හිමිවරුන් තමන්ට පවරා දී ඇති ඓතිහාසික උරුමය මතක් කරමින් මහින්දට ලිපි ලියන්නේ මේ රට මහා අන්තරායකට මුහුණදී තිබෙන නිසාය.
ආණ්ඩුව කොටි කටෙන් රට ගලවාගන්න යුද්ධය පටන්ගත් විට මහනායක හිමිවරු මුර දේවතාවන් සේ මේ ආණ්ඩුව ආරක්‍ෂා කළහ. 2008 අය වැයෙන් ආණ්ඩුව පෙරළන්න යූ.ඇන්.පී.ය සූදානම් වන විට මේ මහනායක හිමිවරු යුද්ධය අවසන් කරන තෙක් ඉවසා සිටින්න යැයි යූ.ඇන්.පී.යට අවවාද අනුශාසනා කළහ.
වෘත්තීය සමිති වැඩවර්ජන දියත් කරන විට යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න යැයි වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියහ. එලෙස ආණ්ඩුව ආරක්‍ෂා කළ මහනායක හිමිවරුන් යුද්ධයට පසු කිහිප වතාවක්ම ආණ්ඩුවට අනතුරු අඟවන නිවේදන නිකුත් කළේ හරිමඟ යන ලෙස අවවාද අනුශාසනා කරමිනි.
මහනායක හිමිවරුන්ගේ මේ ලිපිය එවැනි අනතුරු ඇඟවීමක් හෝ අවවාද අනුශාසනා කිරීමක් හෝ නොවේ. තමන්ට පවරා දී ඇති ඓතිහාසික උරුමය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමකි.

මහනායක හිමිවරු මොනව කියල කරන්නද....
කවුරු හෝ එලෙස අහනවා නම් ඒ මහනායක හිමිවරුන්ගේ ඓතිහාසික උරුමය නොදැනය. සුද්‍ෙදාත් ඒ ටික තේරුම්ගෙන සිටියහ. 1815 උඩරට ගිවිසුම අස්සන් කිරීමට පෙර සුද්දෝ මහනායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලාගේ ආශීර්වාදය පැතූහ. බෞද්ධාගම සහතික කොට ආරක්‍ෂා කරන බවට වගන්තියක් ගිවිසුමේ ඇතුළත් කරන්න සුද්දෝ එකඟතාව පළ කළහ. බි්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව වෙනුවෙන් මහ සංඝරත්නය සමඟ සාකච්ඡා කළේ ජෝන් ඩොයිලිය.

සුද්දත් මහනායක හිමිවරුන්ගේ අවවාද පිළිගත්තා නම් ජිනීවා අන්තරාය ගැන මේ ආණ්ඩුවට උන්වහන්සේගේ අවවාද ගන්න මතක් නොවුණේ ඇයි?”
මේ ආණ්ඩුවට උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ගන්න මතක් වූයේ උන්වහන්සේලා තමන්ට පැවරී ඇති ඓතිහාසික උරුමය මතක් කරමින් ලිපියක් යවපු විටදීය.
එම ලිපියට පස්සේ මහින්ද, විදේශ ඇමැති ජී.එල්.ව උන්වහන්සේලා බැහැදැකීමට යවපු විට ශ්‍රී  දළදා මාලිගයේ පරිශ්‍රයේ පැවැති විශේෂ සංඝ සම්මේලනයේදී මහනායක හිමිවරුන් ඇතුළු හිමිවරු පළ කළ අදහස්වලින් පැහැදිලි වන්නේ ජිනීවා අන්තරායට ආණ්ඩුව වගකිවයුතු බවය. පහත දැක්වෙන්නේ එම අදහස්ය. 
එහිදී අදහස් දැක්වූ උඩුගම ශ්‍රී  බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමියෝ මෙසේ පැවැසූහ.

අපේ රටටත් රජයටත් බෞද්ධ ජනතාවටත් එරෙහිව ජාත්‍යන්තරය තුළ පතුරුවා තිබෙන අසත්‍ය කරුණු පිළිබඳව ජාත්‍යන්තරයට අවබෝධ කළ යුතුයි. අපේ රටේ ඇතැම් විදේශ තානාපතිවරුන් ඉතා අඩුවෙන් තමයි අපේ රට තුළ තත්ත්වය ජාත්‍යන්තරයට පවසන්නේ. අපේ රටේ තානාපතිවරුගේ දුර්වලතා නිසයි අප රටට එරෙහිව විදේශවල බලපෑම් ඇති කරන ඇතැම් කොටස් ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ එම ක්‍රියාවන්ට නිසි පිළිතුරු දෙමින් අපේ තානාපති නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ශ්‍රී  ලංකාවේ අද පවතින සැබෑ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුයි. 
අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ගොඩගම මංගල හිමියෝ,
අපි ජිනීවා මානව හිමිකම් සමුළුව ගැන කතා කරද්දී අපේ රටේම උදවිය අප රටට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. යම් යම් අදහස් පතුරුවනවා. රජයේ ඇතැම් අමාත්‍යවරුන් මේ විෂයට අදාළව අප රටට අහිතකර ප්‍රකාශ නිකුත් කරනවා.
අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික දෙණියායේ රතනසාර හිමියෝ.



අද රජයේ පාර්ශ්වයේ අමාත්‍යවරුන් පවා ඇතැම් අවස්ථාවල බටහිර රටවලට හිත් රිදෙන අන්දමෙන් කටයුතු කරනවා නේද? මේ ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මත අප රටට සම්බාධක පනවන්න හැකිද? අපට බලපෑම් කරන්න හැකිද? එවැනි ක්‍රියාවන්  සිදුවන්නේ නැත්නම් අපි ඇයි මේ තරම් බය වෙන්නේ?
මල්වතු පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද හිමියෝ,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන්ව සිටින අප රටේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ගේ පඹයන් සකසා ප්‍රසිද්ධියේ ගිනි තැබුවා නේද? දක්‍ෂ කථිකයෝ හැටියට තම තමන්ගේ වීරත්වය පෙන්වාදීමට ඇතැම් අය කරන ලද යම් ප්‍රකාශයන්ම අපට හානියක් වූවා නේද?
අමරපුර මහා නිකායෝ අනුනායක කොටුගොඩ ධම්මාවාස හිමියෝ,

මේ ජිනීවා ප්‍රශ්නය ඔස්සේ රට තුළ ජනතාවගේ සිත්සතන්හි යම් යම් බිය ඇති වී තිබෙනවා. අප රටට, අප දේශයට ගැළපෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතුව තිබෙනවා. ඒවායේ අඩුපාඩු නිසයි විවිධ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ. වගකීමෙන් තොරව ආණ්ඩුවේ මැති, ඇමැතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් කරන ප්‍රකාශ නිසා ජනතාවගේ සිත් තුළ යම් යම් කලකිරීම් ඇති වී තිබෙනවා...
ජිනීවා අන්තරායෙන් පේන්නේ තමන්ගේ නොහැකියාව බව මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පමණක් නොව රටම අවබෝධ කරගෙන ඇති බව ආණ්ඩුවට දැනී ඇත.
ජිනීවා ඡන්දෙන් ඒ අය දිනයි...

අපිට මොකෝ...
මෙහෙ ඡන්දෙන් දිනන්නේ අපි..
මේ දැන් ආණ්ඩුව කියන කතාවය. එදා ලංකාවේ යුද්ධය ගැන හොයන්න එ.ජා. සංවිධානය මහලේකම් බෑන් කී මූන් කමිටුවක් පත්කරන්න යන විට මෙරට එ.ජා. සංවිධාන කාර්යාලය ඉදිරිපිට උපවාස කරමින් කොළඹට මහා ජන ගංගාවක් ගෙනැවිත් යකා නටපු ආණ්ඩුව මේ මහා තර්ජනය හමුවේ පැස්බරා සේ වැල්ලේ ඔළුව හංගාගෙන සිටී.

ඒ හේතු දෙකක් නිසාය. එකක් නම් මේ රට ජිනීවා ප්‍රපාතයට තල්ලු කළේ තමන් බව තේරුම්ගෙන එය ජනතාවට තේරුම් යෑම වළක්වන්නටය. දෙවැන්න ජිනීවා බලයට දැන් ජනතාව නටවන්න බැරි බව තේරුම්ගෙනය. එක්කෝ ආණ්ඩුව සමීක්‍ෂණයක් මඟින් මෙය තේරුම් ගෙන ඇතිවා විය යුතුය. නැතිනම් මේ වේලාවේ පළාත් සභා ඡන්ද වේදිකාවේ තියෙන්න ඕන ඡන්ද දිනන මැෂිම වන විදුලි පුටුවය.

“83 යුද්ධයට පස්සේ හැම ආණ්ඩුවක්ම යුද්දෙ විකුණලා තමා ඡන්ද දින්නේ. හැබැයි 1994දී ජනතාවට යූ.ඇන්.පී. ආණ්ඩුව තමන්ට යුද්දෙ පෙන්නල ඡන්දෙ පික්පොකට් ගහන බව තේරුණා. යුද්ධයට වගකියන්න ඕන යූ.ඇන්.පී. ආණ්ඩුව කියල ජනතාවට තේරුම් ගියා. 2001දී වුණත් ඒකයි. යුද්දෙ කිය කියා පොදු පෙරමුණ ඡන්දය හිඟද්දී යුද්දෙන් ඇති වුණ විනාශයට පොදු පෙරමුණ ආණ්ඩුව වගකියන්න ඕනා කියලා ජනතාව තේරුම් ගත්තා. 1994දීත් 2001දීත් ජනතාව ඡන්දය දුන්නේ යුද්ධය ගැන වෙනස් විදියකට බලල රට ගොඩගන්න පුළුවන් නායකයකුට. තම හතුරා වුණත් ප්‍රභාකරන් එක්ක කතා කරල විනාශය නවත්තගන්න පුළුවන් ආණ්ඩුවකට. මේ ජිනීවා ප්‍රශ්නයත් ආණ්ඩුව 2010 ජනාධිපතිවරණයේ ඉඳල විකුණාගෙන කනවා. ඒත් එන්න එන්නම ජිනීවා තොණ්ඩුව රටේ බෙල්ල තද කරනවා. අද හෙට නැති වුණත් ජනතාව කවදා හරි තීරණය කරයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කොයි තරම් හතුරෝ කිව්වත් ඒ රටවල් එක්ක කතා කරල ජිනීවා අන්තරායෙන් රට මුදා ගන්න අලුත් නායකයෙක් ඕනා කියලා. ඒක මේ ආණ්ඩුවට දැනෙනවා. ජිනීවා ඡන්දෙන් ඒ අය දිනයි... අපිට මොකෝ කියල අහන්නේ ඒකයි..

මේ මෙරට ජන හදගැස්ම ගැන හොඳ දැනුමක් ඇති දේශපාලන විචාරකයෙක් කී කතාවය.
 යුද්ධෙ පරදින කොට පසුගිය ආණ්ඩු යුද්ධයේ ඇත්ත තත්ත්වය වහං කළා සේ මේ ආණ්ඩුව ජිනීවා පරදින කොට ජිනීවාවල ඇත්ත තත්ත්වය වහං කරයි.
මහනායක හිමිවරුන් බොරුවට නිදන් ඉන්නා ආණ්ඩුව ඇහැරෙව්වේ ඒකය.

සහන ලැබෙන තුරු ලංකාදීපය      
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින්     සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරිය      
මහණකමත් බණ දහමත් එයයි     මට
එස්. මහින්ද හිමියන්ගේ මෙම උවදෙස අනුව යමින් මහනායක හිමිවරුන් මේ සැරසෙන්නේ ජනතාව අවදි කරන්නද කියා කියන්න දන්නේ නැත.