වින්දනයේ වන්දිය


නිලන්ත ඉලංගමුව 

 “අපේ යටත්වීම (අන්ෆ්‍රීඩම්) පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි අඩුපාඩුව නිසා අපි නිදහස් කියා සිතන්නෙමු” - ස්ලැවෝජ් ජිජැක්, (වෙල්කම් ටු ද ඩෙසර්ට් ඔෆ් ද රියල්: ෆයිව් එසේස් ඔන් සේප්ටෙම්බර් 11 ඇන්ඩ් රිලේටඩ් ඩේට්ස්)
 
මෙය, කාරණය ගැඹුරින් පැහැදිලි නොකරන කෙටි විස්තරයක් විය හැකිය. මෙය ලංකාවේ පශ්චාත් යුධමය පරිසරය ගුදමය වශයෙන් පැහැදිලි කරමින්, රාජපක්ෂගේ මහා සංවර්ධනය සහ ඔහුගේ සහෝදරයාගේ සරාගී තෙත්බිම්  උද්‍යාන දැක, මෙලොව ජීවිතේ ශාන්තියත් පරලොව ජීවිතේ විමුක්තියත් සොයන උපාසක උපාසිකාවන් වන බහුතරය, කෑම සොයමින් ශුෂ්ක වනයක හති දමමින් දුවන  හයිනාවෙකුට මස් නැති නමුත් මොහොතකට පෙර මස් තිබු බවට සලකුණක් ඇති කටුවක් ලැබීමෙන් ලබන ප්‍රමෝදය, හා සමාන ප්‍රමෝදයක් ලබන රාජපක්ෂ ඇති කොට ඇති යුද්ධයෙන් තොර ලංකාව ගැනය. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම භූමියේ විනෝද වන “සිංහල බෞද්ධයින්” ගැනය. 

මෙහි සිංහල බෞද්ධ යනු සම්ප්‍රදායක් , සංස්කෘතියක්, හෝ ඉතිහාසයක් නොවේ. එවැනි විකාර ( බුල්ශිට් ) වර්ගීකරණයක් දීමේ කිසිඳු වුවමනාවක් හෝ ආසාවක් මට නැත. එය “ලංකාවේ මෑත අවුරුදු කිහිපය” පුරා හොඳින් විකිණෙන නමුත් බාසවෙන් මෙන්ම ඉතිහාසයෙන් හොරකම් කළ වචන යොදා අලංකාර කරනු ලැබූ වෙළඳ භාණ්ඩයකි. මෙහි ඇති වෙළඳපොළ රාජපක්ෂගේ දේශපාලන වෙළඳපොලම වේ. වඩාත් නිවැරදිව කියන්නේ නම්, “සිංහල බෞද්ධ” යනු රාජපක්ෂ දේශපාලනිකික වශයෙන් සහ දාර්ශනික වශයෙන් තම වෙළඳාම පසුවෙන් කරගෙන යෑම සඳහා භාවිතා කරන දයලෙක්තිකය (ලංකාවේ මාක්ස්වාදී බෞද්ධයින් මෙම වචනය දැක විලම්භීත නොවේවා) වේ. මීට මක්ස්වාදීයාට වෙන අර්ථයකුත්, නාසි වාදියාට තව අර්ථයකුත්, ලිබරල් ඩිමොක්‍රටික් වාදියාට තවත් අර්ථයකුත්, මේ සියල්ල දෙසස බලා සිටින “දාර්ශනිකයාට” තව අර්ථයකුත් ලබා ගනිමින් විස්තර කළ හැකිය.  මෙහි ඇත්තේ, සුක්ෂමව සකස් කළ ක්‍රමෝපායක්‌ මඟින් වෙළඳාම කරගෙන යාමය.

 අතිශය පහසුය. එය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම කරගෙන ආ සෙල්ලමකි. සැපිරිය යුතු කොන්දේසිය වන්නේ, මීට ගොදුරු කළ යුත්තන් උමතු කළ යුතුය, විරුද්ධ වන්නන් එක්කෝ භීතියට පත් කොට නිහඬ කිරීම හෝ එලවා දැමීම කළ යුත්තේය. වෙළඳාමේදී පාරිභෝගිකයා සතුවන අවසාන නිගමනය සරලය. ඒ නම්, අතේ සතෙත් නැති ගත්ත බඩුවකුත් නැති,  අක්‍රිය මෙන්ම තුශ්නිම්භූත තත්වයය. මිනිස් මනස ස්වභාවයෙන්ම අතෘප්තියේ සංඛේතයක් නිසා මෙය සිදු කිරීම තවත් පහසුය. එහි වන්දිය ලැබීමට තබා තේරුම් ගැනීමට තවත් විශාල කාලයක් ගත වනු ඇත. මන්ද එසේ ඉපදීමට ඇති ඉඩ සෑම විටම අදාළ “උමතුව” පතුරවන්නා විසින් වසා දමන බැවිනි. ප්‍රසිද්ධ මාක්ස්වාදියා අප්‍රසිද්ධ බෞද්ධයෙකු වන්නේත්, ප්‍රසිද්ධ ජාතිවාදියා ( මෙය අර්ථවත් සිංහල වචනයක්ද යන්න නොදනිමි.  වත්මනේ “රේසිස්ට්” යන්න භාවිතා නොකරන නමුත්, එය සිංහලෙන් අර්ථගැන්වීමට ඇති එක් ප්‍රධාන වචනයක් වන්නේ මෙයයි ) , අප්‍රසිද්ධ කාමලෝලියෙකු වන්නේත් මෙම සන්දර්භය තුළය. දෙදෙනාගේම අපේක්ෂාව පොදුය. වෙළඳාම හැකිතරම් කාලයක් කරගෙන යාමය. මන්ද මෙහි වෙළෙන්දාට කිසිම විටෙක හානියක් නොවන අතර එමඟින් බංකොලොත් (බෑන්ක්ක්‍රප්ට්) වන්නේ පාරිභෝගීකයා වන හෙයිනි. මෙය, දෙවියන්ගෙන් බුදුන් ඉල්ලීම නමැති සම්ප්‍රදායේ එක් දේශපාලනික පරිණාමයකි. 

අපේ යටත් වීම තේරුම් ගැනීමට නොහැකි තාක් දුරට එය විස්තර කිරීම සඳහා අපට වචන නූපදිනු ඇත. ඒ නිසා යුද්ධයෙන් තොර ලංකාව අපේ අන්තිම අපේක්ෂාව ලෙස සිතා එය වන්දනයේ යෙදෙනු ඇත. ජිජැක්, කියන මෙම කාරණයේ  ඇති බරපතල සත්‍ය ලංකාවට ආදේශ කොට බැලීමට, චීන ණය යටතේ ඉදිකරන මාර්ග ප්‍රමාණවත්ය. එමඟින් චීනය ණයට අමතරව පොලියක් සහ තම නිෂ්පාදන වෙළඳපොල දීර්ඝ කරගනු ලබයි. රාජපක්ෂ එම ව්‍යාපෘතිවල නම කොටා ගනු ලබයි. ආණ්ඩු රූපවාහිනියෙන් ( ලංකාවේ පවතින බොහෝමයක් නාලිකා අයිතිය පෞද්ගලික වුවද ආණ්ඩුවේ කාර්ය  භාර්ය ඉටු කරන ඒවාය) එම ව්‍යාපෘති දෙස කට ඇරගෙන නරඹන අයවලුන් එහි නියම වන්දිය බදු ලෙස ගෙවති. පසුදා රාත්‍රියේ රූපහිනියෙන් දුටු මෙගා සංවර්ධනය පසුදා වැඩබිමේ මාතෘකාව වන්නේ මෙම මෙම සන්දර්භය තුළය. අපි මෙය නිදහස ලෙස තේරුම් ගනිමු. 

සමීකරණය තුළ ජනප්‍රිය සංස්කෘතියේ අහිමි වන්නා වන්නේ සෑම විටම අර්ථය සොයන්නාය. වෙනත් වචනයකින් කියන්නේනම් ජනප්‍රිය සංස්කෘතියේ දේශද්‍රෝහීයා වන්නේ ඔහුය. ඔහුට අහිමි වීමත් උමතු වූවන්ගේ වෛරයත් ශාපයත් යහමින් ලැබෙන දායාද වේ. නමුත් යතාර්ථය හමුවේ නියම විමුක්තිකාමියා වන්නේ ඔහුය. මෙය අවසන් කිරීම සඳහා, යළිත් ජිජැක් උපුටා දැක්වීම වැදගත් යයි සිතේ, සමස්ථයක් ලෙස බහුතර “සිංහල බෞද්ධ” වෙළඳපොළේ උමතු වූවන් මුහුණ දෙන මුලික ප්‍රශ්නය වන්නේ තම ආසාව තෘප්තිමත් කරගැනීම හෝ නොගැනීම නොවේ. ගැටලුව අපි ආසා කරන්නේ කුමකටද යන්න දැන ගන්නේ කෙසේද යන්නය.